අවසන් මහා තරගයේ පෙරහුරු තරගය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

333

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (9) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් දෙක මේ වන විට ද මේ මස 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඒ හේතුවෙන් මෙම තරගය අවසන් මහා තරගයට ඉතා හොඳින් සූදානම් වීමට ලැබෙන පෙරහුරු තරග අවස්ථාවක් සේ කණ්ඩායම් දෙකටම සැලකිය හැකියි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 21ක් පවත්වා ඇති අතර ඉන් පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වෙනවා. ඒ තරග 13-8ක් ලෙසින්. එම දත්ත සමඟින් පාකිස්තානය මෙතෙක් අපට වඩා ඉදිරියෙන් සිටිය ද තරගයක විසඳුම එම දත්ත මත ම තීරණය වෙන්නේ නැහැ.

පරාජිත තරගයකින් තරගාවලියේ ගමන ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සේ ම පාකිස්තානය ද මේ වන විට සුපිරි 4 වටය ආක්‍රමණය කර සිටීම විශේෂයි. පළමු වටය නිමා වන විට පාකිස්තානය A කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයේ සිටිමින් ද සුපිරි 4 වටයට පිවිසියා.

ඒ අනුව මේ වන විට සුපිරි 4 වටයේ පැවති තරග අතරින් ශ්‍රී ලංකාව මෙන් ම පාකිස්තානය ද සිටිනුයේ අපරාජිතවයි. ලකුණු ලබා ගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙන අතර දෙවැනි ස්ථානය පාකිස්තානයට හිමි වෙනවා.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මධුශාන්, මතීෂ පතිරණ
  • පාකිස්තාන ක්‍රිකට් සංචිතය: Babar Azam (නායක), Shadab Khan (උපනායක),Mohammad Rizwan, Iftikhar Ahmed, Khushdil Shah, Fakhar Zaman, Shahnawaz Dahani, Mohammad Nawaz, Naseem Shah, Asif Ali, Haris Rauf, Mohammad Hasnain, Haider Ali, Hasan Ali, Usman Qadir, Mohammad Wasim, Shaheen Shah Afridi

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතියේ යම් වෙනසක් විය හැකි යැයි විශ්වාස කෙරෙනවා. එහි දී ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් වන චරිත් අසලංක මෙන් ම තුන්  ඉරියව්වෙන් දක්ෂතා දක්වන වනිඳු හසරංග ද මෙම තරගයේ දී විවේක ගැන්විය හැකියි.

චරිත් මේ වෙද්දී මෙම තරගාවලියේ දී තම දක්ෂතා නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ චරිතයක් බවට පත්ව සිටිනවා. එබැවින් චරිත් වෙනුවට ධනංජය ද සිල්වා හෝ අශේන් බණ්ඩාර කැඳවීමේ වැඩි ඉඩක් පවතිනවා. චරිත් මේ දක්වා තරග 4ක ඉනිම් 4කට ක්‍රීඩා කරමින් ලබා ඇත්තේ ලකුණු 9ක් පමණයි. ඉන් අවස්ථා දෙකක දී ම කිසිදු ලකුණක් නොලබා දැවී යනවා.

වනිඳුගේ තත්ත්වය ද යහපත් නොවේ. ඔහු නිමා වූ තරග 4ට ම ක්‍රීඩා කරමින් පිතිකරුවෙක් ලෙසින් ලබා ඇත්තේ ලකුණු 20ක් පමණයි. කඩුලු ලබා ඇත්තේ ද 3ක්. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 122ක් ලබා දී තිබෙනවා. ප්‍රතිවාදීන් වෙතින් වැඩියෙන් ම පහර කා ඇත්තේ ද වනිඳු. ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ මෙම තරගයේ දී ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත් චරිත් සේ ම වනිඳු ද වහා දක්ෂතා අතරට පිවිසිය යුතුයි. මෙම තරගයේ දී ස්ථානයක් හිමි නොවූවත් ඔවුන් අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් වනු ඇත. එබැවින් ලැබෙන විවේකය වඩාත් ඵලදායි කර ගැනීමට ඔවුන් දෙදෙනා ම සිතා ගත යුතුයි.

කෙසේ වෙතත් මේ දක්වා පැවති තරගවල දී කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ විශ්වාසය දිනා ගැනීම ප්‍රශස්තයි.

එමෙන් ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන චාමික කරුණාරත්න සහ වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක සහ අසිත ප්‍රනාන්දු ද අද ආරම්භ වන තරගයේ දී පාකිස්තාන ඉනිම පාලනයේ දී වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.

සහභාගී විය හැකි යැයි විශ්වාස කරන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා/ අ‍ශේන් බණ්ඩාර, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග/ ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුශංක.

පාකිස්තාන කණ්ඩායම ද මෙම තරගයේ දී වෙනස්කම් කිහිපයක් සමඟින් පිටියට පිවිසෙතැයි අපේක්ෂා කළ හැකියි. නිමා වූ ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී තියුණු අවසානයක් නිර්මාණය කළ පාකිස්තානුවෝ එම තරග රටාවෙන් ම ශ්‍රී ලංකාව සමඟ ද අවතීර්ණ වන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තරමක් ව්‍යාකූල කිරීමක් විය හැකියි.

කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ අය අතරින් අප වඩාත් පරිස්සම් විය යුත්තේ Mohammad Rizwan වෙතිනුයි. ඔහු මේ දක්වා තරග 4කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 4කින් සමඟින් ලකුණු 212ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය පත් වීමට සමත් ව සිටිනවා.

ඔහුට අමතර ව Fakhar Zaman සහ Khushdil Shah ද මෙතෙක් සිතූ සේ ඉනිමක් ක්‍රීඩා කිරීමට නොලැබුණ නායක Babar Azam ද අපට එරෙහි ව සන්නද්ධ වනු අනුමානයි.

පන්දු යැවීමේ දී  පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන Mohammad Nawaz මේ තරගයට ද කැඳවෙනු ඇති අතර ඔහුගේ මැජික් බෝල හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට දැඩි ආයාසයක් ගන්නට සිදු වෙනු නිසැකයි.

පෙර තරගයට ක්‍රීඩා කළ Shadab Khan සහ Naseem Shah වෙනුවට මෙම තරගයේ දී Usman Qadir හෝ Hasan Ali කැඳවීමේ වැඩි ඉඩක් පවතින අතර ඇතැම් විට මෙම දෙදෙනා ම කණ්ඩායමට එක් විය හැකියි.

සහභාගී වනු ඇතැයි විශ්වාස කරන පාකිස්තාන කණ්ඩායම: Babar Azam (නායක), Mohammad Rizwan, Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Mohammad Nawaz, Shadab Khan/Usman Qadir, Naseem Shah/Hasan Ali, Haris Rauf, Mohammad Hasnain

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<