ශහීන් ෂා අෆ්රිඩිට ලන්ඩනයේ දී ප්‍රතිකාර

225

ආබාධයකට ලක්ව සිටින පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි හට ලන්ඩනයේ දී ප්‍රතිකාර ලබා දෙන බවත්, ඔහුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වන විට 100%ක ශාරීරික යෝග්‍යතාවයක් කරා ගෙන යාමට බලාපොරොත්තු වන බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පවසනවා.

පසුගිය ජුලි මාසයේ මැද දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ දී බිම දිගේ ඇදී ගොස් පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ දණහිස ආබාධයකට ලක්වුනා. එබැවින් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයත්, මේ වන විට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියත් අහිමිව ගියා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය ප්‍රධානී නජීබුල්ලා සූම්රෝ පවසන්නේ අෆ්රිඩි හට නොකඩවාම කැපවී ප්‍රතිකාර ලබා ගත හැකි, දණහිස් පිළිබඳ විශේෂඥයෙකු විසින් ලන්ඩනයේ දී සේවය සපයනු ඇති බවයි.

ක්‍රීඩකයාට උපරිම වාසිය ලැබෙන පරිදි අපි තීරණය කළා ඔහුව එහෙට යවන්න,” ඔහු පැවසුවා.

එහි ප්‍රතිකාර ලබන අතරතුර අෆ්රිඩි නිරතුරුවම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල වෛද්‍ය අංශයේ සැලකිල්ලට බඳුන් වනු ඇත. ඊට ලන්ඩනයේ ස්ථානගතව සිටින වෛද්‍ය ඉමිතියාස් අහමඩ් සහ වෛද්‍ය සෆාර් ඉක්බාල් ද ඇතුළත්.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි. ඊට “සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් යුත්” අෆ්රිඩිගේ සහභාගීත්වය බලාපොරොත්තු වන බවයි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<