ස්මිත්ගේ නායකත්වයේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

346
2017/18 Ashes

1882 වර්ෂයේ පටන් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වනු ලබන ලෝක පූජිත ක්‍රිකට් තරගාවලියක් වන “බඳු අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ” 70 වැනි දිග හැරුම පසුගිය දා (23) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී සිදු විය. දින පහක් අවසානයේ ප්‍රථම ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23)…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. ඔවුන්ගේ ආරම්භ පිතිකරුවන් යුගලය වන ඇලෙස්ටයාර් කුක් හා මාක් ස්ටෝන්මන් පිටියට පිවිසියේ හොඳ ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමේ බලාපොරොත්තු තබාගෙන වුවත්, තරගයේ තෙවන පන්දුවාරයේ දී එම බලාපොරොත්තු සුනුවිසුනු කර දැමීමට මිචෙල් ස්ටාර්ක් සමත් වූයේ කුක්ව ලකුණු 2කට ආපසු ක්‍රීඩාගාරයට හරවමිනි.

දෙවන කඩුල්ල සඳහා එක්වූ ස්ටෝන්මන් හා ජේම්ස් වින්ස්, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විඩාවට ලක්කරමින් ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ඔහු පන්දු 159ක් තුල 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 53ක් රැස්කර ගත්තේ සිය තෙවන අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි.

එංගලන්ත ඉනිම ස්ථාවර මට්ටමක තිබිය දී  දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ග්ස් එවූ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ස්ටෝන්මන්ස් දැවී ගියේය. මැදපෙළ සවිමත් කළ ජේම්ස් වින්ස් හා ඩේවිඩ් මාලන් පිළිවෙළින් ලකුණු 83ක් හා ලකුණු 56ක් ලබාගෙන එංගලන්ත පළමු ඉනිම ලකුණු 300කට එහා ගෙන යාමට අවශ්‍ය සවිය ලබා දෙන ලදි. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාර්ක් හා පැට් කමින්ග්ස් අතරේ කඩුලු ත්‍රිත්වය බැගින් බෙදී ගියේය.

දසුන් ශානකට දඩ; තරග තහනමකට අවදානමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ..

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නායකත්වයේ වගකීම් නිසියාකාරව ඉටු කළ ස්ටීවන් ස්මිත්, 4 පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 141*ක් ලබාගෙන සිටිය දී සිය කණ්ඩායමේ පිතිකරුවන් සියලුම දෙනා දැවී ගියේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 328කට සීමා කරමිනි.

ශෝන් මාර්ශ් ලකුණු 51යි. වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බෝර්ඩ් කඩුලු 3ක් එංගලන්ත වෙනුවෙන් දවා ගන්නා ලදි.

ලකුණු 26ක අවාසියක් සහිතව නැවතත් එංගලන්ත පිතිකරුවන් පිටියට පිවිසි අතර එහි දී ජෝ රූට්ට හැරෙන්නට අනෙක් එංගලන්ත පිතිකරුවන්ට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව පිත්ත හසුරුවන්නට නොහැකි විය. ඒ නිසාවෙන් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියාව දෙසට නතු වන්නට ගත්තේ තරගයේ සිව්වන දිනයේ සිටයි. දකුණතින් පිත්ත හසුරුවන රූට් හට අස්වැසිල්ලක් වෙමින් ජොනී බෙයාර්ස්ටොව් 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 42ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ ද ජෝශ් හේසෙල්වූඩ් 3/46, මිචෙල් ස්ටාර්ක් 3/51, නේතන් ලයන් 3/67ක් ලෙස දස්කම් දක්වන ලදි.

අවසානයේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. එහි දී වෝනර් (87*) හා කැමරන් (82*) 4 පහර 10 බැගින් එල්ල කළ අතර වෝනර්ගේ ඉනිමට එක් 6 පහරක් ද අන්තර්ගත විය.

තරගයේ වීරයා – ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියානු නායක)

එංගලන්ත පළමු ඉනිම – 302/10 (116.4): ජේම්ස් වින්ස් 83, ඩේවිඩ් මාලන් 56, මාර්ක් ස්ටෝන්මන් 53, මිචෙල් ස්ටාර්ක් 3/77, පැට් කමින්ග්ස් 3/85.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 328/10 (130.3): ස්ටීවන් ස්මිත් 141, ශෝන් මාර්ශ් 51, පැට් කමින්ග්ස් 42, ස්ටුවර්ට් බෝර්ඩ් 3/49, ජේම්ස් ඇන්ඩර්සන් 2/50, මොයින් අලී 2/74.

එංගලන්ත දෙවන ඉනිම – 195/10 (71.4): ජෝ රෑට් 51, ජොනී බෙයාර්ස්ටොව් 42, මොයින් අලී 40, ජෝශ් හේසෙල්වූඩ් 3/46, මිචෙල් ස්ටාර්ක් 3/51, නේතන් ලයන් 3/67.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම –  173/0 (50): ඩේවිඩ් වෝනර්  87*, කැමරන් බැන්ක්‍රොෆ්ට් 82*.

මේ වන විට අළු බඳුන තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටන අතර මීළඟ තරගය දෙසැම්බර් 2 වන දා සිට දෙසැම්බර් 6 වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි පිටියේ දී පැවැත්වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<