ධම්මික ප්‍රසාද් නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට කොළ එළි දල්වයි!

1154

තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාව පසු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයකට ගොදුරු වූ ධම්මික ප්‍රසාද් අද (16) සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් ප්‍රකට කිරීමට සමත් විය. ඒ අනුව ඉදිරි තරග වලදී ද මේ අයුරින් දක්ෂතා අතරට පැමිණියහොත් අපට නැවතත් ධම්මිකව ජාත්‍යන්තර තරග තුල දැකිය හැකිවනු ඇත. මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ස්ථරයේ තවත් තරග 5ක් නිසා අද දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් විය.

විශ්ව ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන T10 සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම, මරත ඇරැබියන්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම සමඟ තරග..

සිංහල ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනය වර්ණවත් කරමින් ශම්මු අශාන් සහ මිලින්ද සිරිවර්ධන රැස් කළ විශිෂ්ට ශතක දෙක නිසා අද SSC ඉනිම කඩුලු 4කට ලකුණු 444ක් දක්වා ඇදී ගියේය. ඒ අනුව තරගය සාර්ථක අන්දමින් නිමාකර ගැනීමට මෙම ලකුණු ප්‍රමාණය සෑහෙන බව තීරණය කළ ඔවුන් තම ප්‍රථම ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ.

ඊට ප්‍රතිචාර වශයෙන් සැරසන්ස් පිතිකරුවන් දිනය නිමා වෙද්දී කඩුලු 7කට ලකුණු 192ක් රැස් කරගෙන සිටින්නේ හෙට දිනයේ ප්‍රථම ඉනිමේ පරාජයක අවදානමක් ද හිසමත රඳවාගෙනයි. එහිදී ආබාධ තත්ත්වයන්ගෙන් සුවය ලබා නැවතත් දේශීය තරග බිමට පිවිස සිටින දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කඩුලු 3ක් බිඳ හෙලූ අතර සැරසන්ස් ඉනිමේ බලාපොරොත්තුව බවට පත්ව සිටින හර්ෂ කුරේ නොදැවී අර්ධ ශතකයක් ලබා සිටියි.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 444 (පන්දුවාර 94) ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන 137*, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර 39*, චතුර රන්දුනු 1/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 192 (පන්දුවාර 47) හර්ෂ කුරේ 53*, ඇන්ඩි සොලමන්ස් 27, මින්හාජ් ජලීල් 25, සචිත්‍ර පෙරේරා 24*, ධම්මික ප්‍රසාද් 3/58, විමුක්ති පෙරේරා 2/28


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

BRC කණ්ඩායමට මේ වනවිටත් ප්‍රථම ඉනිමේ ජය හිමිව ඇති මෙම තරගය ද අද ක්‍රියාත්මක වූයේ දෙවැනි දිනයටයි. එහිදී මුලින් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 293ක් රැස්කර ගත්තේ සචිත්‍ර සේරසිංහගේ අර්ධ ශතකයටත්, ඕෂද ප්‍රනාන්දුගේ ලකුණු 47ටත් ස්තූතිපූර්වක වෙමිනි. මෙම ඉනිම පසුපස හඹාගිය BRC කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316ක් වාර්තා කළහ.

BRC ඉනිමේ තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් රුමේෂ් බුද්ධික සහ ටී. එම්. සම්පත් අතරේ ගොඩ නැගුණු ලකුණු 167ක සබඳතාවය මේ වෙනුවෙන් පදනම සැකසීය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වමත් පිතිකරු රුමේෂ් බුද්ධික ලකුණු 123යි. තම ශතකය ලකුණු 4කින් අවාසනාවන්ත ලෙස අහිමි වූ ටී.එම්. සම්පත් ලකුණු 96යි. මේ වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන හලාවත මේරියන්ස් පිතිකරුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 87.2) සචිත්‍ර සේරසිංහ 63, ඕෂද ප්‍රනාන්දු 47, මලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දමෝදරන් 23, සුරාජ් රන්දිව් 6/90, චාමිකර එදිරිසිංහ 2/72.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 81.1) රුමේෂ් බුද්ධික 123, ටී.එම්. සම්පත් 96, ලසිත් ලක්ෂාන් 40, මලින්ද පුෂ්පකුමාර 5/102, සචිත්‍ර සේරසිංහ 4/76.

හලාවත මේරියන්ස් (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 9 (පන්දුවාර 8) ටී.එම්. සම්පත් 1/05.



මුවර්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ දිනයේ ප්‍රිමෝශ් පෙරේරා වාර්තා කළ ශතකයෙන් පණ ලැබූ මුවර්ස් ඉනිම අද කඩුලු 6ක් දැවී ලකුණු 444ක් දක්වා ඇදී ගියේ තරගයේ වැඩි වාසිය ඔවුන් වෙත නතු කරමිනි. මීට අමතරව මුවර්ස් ප්‍රථම ඉනිම සවිමත් කිරීමට ශානුක දුලාජ් සහ චාමර සිල්වා ලබාගත් අර්ධ ශතක දෙකද උපකාරී විය.

මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබා සිටින CCC කණ්ඩායම දැවැන්ත මුවර්ස් ඉනිමට වඩා ලකුණු 396ක් පිටුපසින් පසුවෙයි. ඒ අනුව හෙට දිනයේ තරගය සාර්ථකව නිමා කිරිමට නම් මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස්ට සහ කවීන් බණ්ඩාරට දැඩි වගකීමක් හිමිව තිබේ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 444 (පන්දුවාර 118.5) ප්‍රිමෝශ් පෙරේරා 121, ශානුක දුලාජ් 62*, චාමර සිල්වා 58, සහන් විජේරත්න 45, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, ලක්ෂාන් සඳකැන් 2/100.

කොළඹ ක්‍රිකට් සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 48 (පන්දුවාර 18) කවීන් බණ්ඩාර 23*, කුසල් මෙන්ඩිස් 21*, ශිරාන් ප්‍රනාන්දු 1/25.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ දෙකක් අතරේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජය මේ වනවිටත් තහවුරු කරගෙන සිටින්නේ NCC කණ්ඩායමයි. ඒ ප්‍රතිවාදී ටැමිල් යූනියන් කණ්ඩායම ඊයේ තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 117ට ප්‍රතිචාර ලෙස ලකුණු 234ක් ලබා ගනිමිනි.

එහිදී කිසිදු NCC පිතිකරුවෙකු අර්ධ ශතකයක් පවා ලබා නොගත්තද ලහිරු උදාර, සඳුන් වීරක්කොඩි වැනි පිතිකරුවන්ගේ සහයෙන් මෙවන් සාර්ථකත්වයක් ලඟාකර ගැනීමට ඔවුන්ට හැකිවිය. මේ වනවිට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 89ක් ලබා සිටින ටැමිල් යූනියන් ඉනිමේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්ව සිටින්නේ නොදැවී අර්ධ ශතකයක් රැස් කරගෙන සිටින දිනෙත් තිමෝද්‍යයි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 117 (පන්දුවාර 38.3) මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 2/19, චාමික කරුණාරත්න 2/19, ලහිරු කුමාර 2/21, ලසිත් ඇඹුල්දෙණිය 2/25.

NCC ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 75) ලහිරු උදාර 45, මහේල උඩවත්ත 38, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, ප්‍රමෝද් මදුෂාන් 5/69.

ටැමිල් යූනියන් (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 89 (පන්දුවාර 30) දිනෙත් තිමෝද්‍ය 54*, තරිඳු කෞෂාල් 3/29.


රාගම ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ දිනයේ වර්ෂාවෙන් බැට කෑ මෙම තරගයේ තවමත් එක් ඉනිමක් හෝ සම්පූර්ණ වී නැත. කෙසේවෙතත් අද දිනය පුරාවට සාර්ථක ලෙස පිත්ත හැසිරවූ රාගම ක්‍රිකට් සමාජය දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 324කි. ඊයේ දිනයේ අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටි සමින්ද ප්‍රනාන්දු අද උදෑසනින්ම දැවී ගියද ඉශාන් ජයරත්න, ජනිත් ලියනගේ සහ සමීර ද සොයිසා සාර්ථක පිති හරඹයක නියැලෙමින් රාගම ප්‍රථම ඉනිම පෝෂණය කළහ.

කුසල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් අද (16) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 324 (පන්දුවාර 87) සමින්ද ප්‍රනාන්දු 55, ඉශාන් ජයරත්න 51*, ජනිත් ලියනගේ 51, සමීර ද සොයිසා 49*, ලහිරු මිලන්ත 33, රොෂේන් සිල්වා 36, නිසල තාරක 3/80, කවිෂ්ක අන්ජුල 2/67.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

තවමත් ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයෙකු ගැන පවා අනාවැකි පළකල නොහැකි අන්දමින් ගලායන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදාව ලකුණු 224ක් රැස්කර ගත්හ. ඒ වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලබාගත් අර්ධ ශතකය සහ කසුන් ද සිල්වාගේ ලකුණු 40 ප්‍රයෝජනවත් විය. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වරාය අධිකාරිය කඩුලු 3ක් දැවී ලකුණු 85යි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 98) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 57, කසුන් ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරු 3/28, අදීල් මලික් 2/30, මදූක ලියනපතිරණගේ 2/43.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – කඩුලු 3ක් දැවී ලකුණු 85 (පන්දුවාර 28) යොහාන් ද සිල්වා 29*, යශෝධ ලංකා 26, නුවන් ලියනපතිරණ 2/47.

මෙම සියළුම තරග හෙට තෙවැනි දිනය වෙනුවෙන් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, එම තරග තොරතුරු ද ඔබට ThePapare.com තුලින් සවිස්තරාත්මකව දැනගත හැකියි.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න