ප්‍රථම තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

338
Asia Cup 2016 - SL v PAK

මෙම මස 24 වැනිදා තායිලන්තයේදී ආරම්භ වූ, ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරගය අද (27) බැංකොක් හි ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව හමුවේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට පූර්ණ තරගාවලි ජයක්

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා හසිනි පෙරේරා, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට  තීරණය කළාය. ඒ අනුව පිටියට පැමිණි යශෝධා මෙන්ඩිස් සහ චමරි අතපත්තු විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කල අතර පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා කිරීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක කර ගැනීමට ඉඩක් නොදුන් සාදියා යූසුප්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස යශෝධා මෙන්ඩිස් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 4ක් ලෙස සටහන්ව තිබියදීය.

ඉන්පසු පිටියට පැමිණි ඩිලානි මනෝදරා, චමරි අතපත්තු සමඟින් එක්ව දෙවන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත්විය. එහිදී පන්දු 36කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගැනීමට චමරි අතපත්තු සමත්වූ අතර මනෝදරාගේ ඉනිම ලකුණු 24කට සීමා කිරීමට නහිදා ඛාන් සමත් විය.

ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 21ක් ලබා ගත් අතර පාකිස්තානු පන්දු යවන්නියන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසු කිරීමට ඉඩදුන්නේ නැත.

පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගන්නට නහිදා ඛාන් සමත්විය.

ලකුණු 112ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු ක්‍රීඩිකාවෝ, පන්දුවාර 18යි පන්දු 2ක් තුළදි කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 113ක් වාර්තා කරමින් මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

එහිදී පන්දු 51කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 56ක් වාර්තා කරන්නට ජවේරියා ඛාන් සමත් වූ අතර, නායින් අබිදි පන්දු 24කදී නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට අනගි සහයක් ලබා දුන්නාය.

පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 17කට එක් කඩුල්ලක් සහ එශානී ලොකුසූරිය ලකුණු 16කට එක් කඩුල්ලක් බැඟින් දවා ගන්නට සමත්විය. තරගයේ වීරවරිය ලෙස ජවේරියා ඛාන් නම් කරන ලදි.

ශ්‍රී ලංකාව හෙට (28) නේපාල කණ්ඩායමට එදරිව තරග වැදීමට නියමිතයි.

පාකිස්තානය113/2 (18.2): ජවේරියා ඛාන් 56, නායින් අබිදි 28*, සුගන්දිකා කුමාරි 1/17, එශානී ලොකුසූරිය 1/16

ශ්‍රී ලංකාව – 112/8 (20): චමරි අතපත්තු 31 , ඩිලානි මනෝදාරා 24, ප්‍රසාදනී වීරක්කොඩි 21, නහිදා ඛාන් 2/17

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට