රොනාල්ඩෝ වාර්තාව සඟවාගෙන සිටියාද?

528

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් සත්‍ය ආදායම් වාර්තා ස්පාඤ්ඤ බලධාරීන් වෙත යොමුනොකර ඇතැයි නැගෙන චෝදනාවක් හේතුවෙන් ඒ පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයකට සහභාගී වීමට ඔහුට සිදුව ඇත. එසේ වාර්තා සඟවාගෙන සිටීම මඟින් ආදායම් බදු අයකිරීමේදී ස්පාඤ්ඤ රජයට පාඩුවක් සිදුවී ඇති බවටයි චෝදනා නැගෙන්නේ.

ස්පාඤ්ඤ ආදායම් බදු නිලධාරියෙකු පැවසුවේ රොනාල්ඩෝගේ රුව යොදාගෙන කළ ප්‍රචාරණ කටයුත්තක් සඳහා අයකෙරෙන ලද මුදල පිළිබඳ සත්‍ය වාර්තා, 2011 සිට 2014 දක්වා වන වසර 3ක කාලයක් තිස්සේම රොනාල්ඩෝ විසින් සඟවාගෙන සිටි බවයි.

පෘතුගාල ජාතිකයෙකු වන 32 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩා සමාජය වන රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ පෙර පෙළ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ වාර්ෂික ආදායම යුරෝ මිලියන 32 ඉක්මවයි.

පසුගිය මැයි මාසයේදී මෙවැනිම චෝදනාවක් ලෝ ප්‍රකට ක්‍රීඩක ලයනල් මෙසී හටද එල්ල වූ අතර එහිදී ඔහුට වැරදිකරු වීමට සිදුවිය. කෙසේවෙතත් රොනාල්ඩෝ විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. අදාළ පරීක්ෂණය සඳහා ඔහු ජූලි 31 වැනිදා අධිකරණය වෙත යොමුවනු ඇත.   

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට