“එයාලා ‘lift’ එකේ ඉන්නකොට අපිට ඇතුල් වෙන්න තහනම් වුනා”

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2020/21

691

පසුගිය දා අවසන් වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවති ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ ඉන්දීය කණ්ඩායමට 2-1ක ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

තරගාවලිය පුරාවට ඉන්දීය කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම පාහේ කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර එහි දී විශේෂයෙන් කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා කාගේත් දැඩි කතාබහට ලක්විය. 

කෙසේ නමුත් තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුණු පසුබිමක් තුළ, ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක වූ දැඩි තරගකාරීත්වයට අමතරව ඉන්දීය ක්‍රීඩකයින් වෙත එල්ල වූ වර්ගවාදී ප්‍රකාශයන් සහ ඔවුන් ‘bio-bubble’ දැඩි සීමාකිරීම් යටතේ සිටීමට ප්‍රතික්‍ෂේප කිරීම වැනි ක්‍රීඩා පිටියෙන් පිටත සිදු වූ සිදුවීම් කිහිපයක් ඔස්සේ ද එහි දී පුවත් මැවෙන්නට විය. 

ඒ අනුව එවන් පුවත්වලට නවමු පරිච්ඡේදයක් එක්කරමින් ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු Sridhar සමඟ YouTube හරහා ඊයේ (23) පැවති සංවාදයකට එක්වෙමින් ඔවුන්ගේ පිට දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin පවසා සිටින්නේ Sydney නුවර පැවති තෙවන ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු සංචිතයේ කිසියම් ක්‍රීඩකයෙකු විදුලි සෝපානය තුළ සිටින අවස්ථාවන් වලදී ඉන්දියානු ක්‍රීඩකයින් හට ඒ තුළට ඇතුළු වීම තහනම් වූ බවයි. 

“අපි Sydney ගියාම ඔවුන් අපිව තිබ්බේ දැඩි සීමාකිරීම් යටතේ. ඒත් Sydney වලදී සිදුවුන වෙනස් දෙයක් තිබුණා. ඇත්තටම කිව්වොත් ඒක ගොඩක් අමුතු දෙයක්. ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු සංචිත දෙකේම ක්‍රීඩකයින් හිටියේ එකම ‘bubble’ එක තුළ. ඒත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ‘lift’ එකේ ඉන්න අවස්ථාවන් වලදී ඔවුන් ඉන්දීය ක්‍රීඩකයින්ට ඊට ඇතුළු වෙන්න අවසර දුන්නේ නැහැ.” 

කණ්ඩායම් දෙක අතර Sydney හිදී පැවති තෙවන ටෙස්ට් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඉන්දීය කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පිට දඟපන්දු යවන ක්‍රීඩකයා වූ Ashwin විශාල දායකත්වයක් ලබා දුන් අතර එහි දී කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අනතුරුව පැවති අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් මෙම විදුලි සෝපාන සිදුවීම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එකම ‘bubble’ එකක් තුළ සිටිය දීත් ඔවුන් කෙරෙහි එවන් වෙනස් ආකාරයේ සැලකිල්ලක් දැක්වීම ඉන්දීය ක්‍රීඩකයින්ගේ දැඩි කණස්සල්ලට හේතු වූ බවයි.  

“ඇත්තටම ඒ වෙලාවේ අපිට ඒකෙන් ලොකු කණස්සල්ලක් ඇති වුනා. අපි හිටියේ එකම ‘bubble’ එකක් තුළ. ඒත් අපි ‘lift’ එකට ගියාම අපිට ඒකට ඇතුල් වෙන්න බැහැ. ඒ අපේම ‘bubble’ එකේ ඉන්න තව ක්‍රීඩකයෙක් එක්ක. ඉතින් අපිට ඒක දරාගන්න ගොඩක් අමාරු දෙයක් වුනා.” 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

එම තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී Ashwin සහ Hanuma Vihari දෙදෙනාම ඔවුන්ගේ ආබාධ තත්වයන් සමඟ ද සටන් වදිමින්, පැය 5කට අධික කාලයක් කඩුල්ලේ රැඳෙමින් පිතිකරණයේ නිරත වන්නට වූයේ ඉන්දියාවට එම තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට මග සලසමින් තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයක තබමිනි. 

අනතුරුව Gabba හිදී පැවති අවසන් ටෙස්ට් තරගයෙන් සංචාරක ඉන්දියාව කඩුලු 3ක ජයග්‍රහණයක් තහවුරු කරගන්නට සමත් වූයේ එම ක්‍රීඩාංගණය තුළ වසර 32ක දීර්ඝ කාලයකට පසුව ටෙස්ට් තරගයක දී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින්, ටෙස්ට් තරගාවලියෙන් ද 2-1ක ඓතිහාසික ජයක් තහවුරු කරගනිමිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<