වයසට ගිහින් වාර්තා පොත් අලුත් කරන Anderson

198

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අතරතුර එංගලන්ත ප්‍රධාන වේගපන්දු යවන්නා වන James Anderson නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. ඒ අද (23) දිනයේ දී ඔහු වාර්තා කළ කඩුලු 6ත් සමඟින්.

James Anderson වාර්තා කළ කඩුලු 6ත් සමඟින් වේගපන්දු යවන්නෙකු වැඩිම වතාවක් කඩුලු 5 ඉක්මවා ගිය ලැයිස්තුවේ දෙවන ස්ථානය ලබා ගැනීමට ඔහු සමත්වූයේ හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු වන Glenn McGrath පසුකරයමින්. 

James Anderson මේ දක්වා කඩුලු 5 ඉක්මවූ අවස්ථා 30ක් වාර්තා කර ඇති අතර වේගපන්දු යවන්නෙකු ලෙස එම ලැයිස්තුවේ ඉහළින් සිටින්නේ හිටපු නවසීලන්ත පන්දු යවන්නෙකු වූ Richard Hadlee පමණි.

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය සඳහා James Anderson ක්‍රීඩා නොකළ නමුත් දෙවන තරගය සඳහා ඔහු කැඳවා තිබුණා. තරගයේ පළමු දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3ක් දවා ගැනීමට Anderson සමත් වුනා. දෙවන දිනයේ දී තවත් කඩුලු 3ක් වාර්තා කිරීමට ඔහු සමත් වුනේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 381කට සීමා කරමින්.

38 හැවිරිදි James Anderson වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින වයස්ගතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙනවා. Anderson මෙම තරගයේ දී වාර්තා කළ කඩුලු 6ත් සමඟින් ඔහු ආසියානු රටක දී කඩුලු 5 ඉක්මවූ වයස්ගතම වේගපන්දු යවන්නා බවට ද පත්වුනා. මීට පෙර එම දස්කම දක්වා තිබුණේ හිටපු නවසීලන්ත වේගපන්දු යවන්නෙකු වන Richard Hadlee යි. ඒ වයස අවුරුදු 37 දී එම දස්කම දක්වමින්.

James Anderson දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ස්ථාවර පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට සමත් වූ අතර සිය මංගල ටෙස්ට් ශතකය අභියස සිටි නිරෝශන් දික්වැල්ල ඔහුගේ පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. එම කඩුල්ලත් සමඟින් Anderson සිය කඩුලු 5 සම්පූර්ණ කළ අතර මීට පෙර ගාල්ලේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන්ව තිබුණේ 2012 වසරේ දී ලකුණු 75කට කඩුලු 5ක් දවා ගැනීමයි.

ටෙස්ට් ඉනිමක වැඩිම වතාවක් කඩුලු 5 සීමාව පසුකර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය. එම ලැයිස්තුවේ ඔහුගේ නම ඉදිරියේ කඩුලු 800ක් සටහන් වන අතර 67 වතාවක් ඔහු කඩුලු 5 සීමාව පසුකරගොස් තිබේ. එහි දෙවන ස්ථානයේ රැඳී සිටින හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne කඩුලු 5 ඉක්මවූ අවස්ථාවන් 37ක් වාර්තා කර තිබේ. ඊට අමතරව Richard Hadlee 36 වතාවක්, Anil Kumble 35 වතාවක් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් 34 වතාවක් කඩුලු 5 සීමාව පසුකර යමින් එම ලැයිස්තුවේ රැඳී සිටිනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

Anderson මෙම ඉනිමේ වාර්තා කළ කඩුලු 6ත් සමඟින් ඔහුගේ මුළු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 606ක් ලෙස වාර්තා වන අතර වේගපන්දු යවන්නෙකු විසින් වාර්තා කළ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ද එය වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අසමත් වූ අතර ලකුණු 7කට කඩුලු දෙකක් දැවී අසීරු අඩියක පසු වුනා. කෙසේ වෙතත් ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව පළමු දිනයේ දී ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වුනා.

ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළ ශතකයත් සමඟින් ස්ථාවර වූ ශ්‍රී ලංකා ඉනිමට පීඩනයක් එල්ල කිරීමට එංගලන්ත වේගපන්දු යවන්නන් වූ James Anderson සහ Mark Wood සමත් වුනා. 

මැතිව්ස් සහ සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රමේශ් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමඟින් පිටියේ එක්වූ නිරෝශන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා සාර්ථක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන ගියා.

දිල්රුවන් පෙරේරා සිය හත්වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමටත් සමත් වුනා. ඉනිම අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 381ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුලු දවා ගත්තේ වේගපන්දු යවන්නන් වීමත් විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති තරගයක දී එම දස්කම දක්වා ඇත්තේ 2001 වසරේ දීයි. ඒ මහනුවර පැවති තරගයක දී එංගලන්ත පන්දු යවන්නන් වන Darren Gough, Andy Caddick සහ Craig White විසින්.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවන දිනයේ තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 98ක් වාර්තා කළා. හෙට තරගයේ තුන්වැනි දිනයයි.

පසුගිය ජනවාරි 14 වැනිදා ආරම්භ වූ තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<