සීකුගේ ඇතුළු Northern Warriors ශූරතාවය දිනයි

යුද්ධ හමුදාධිපති ලීගය 2021

510

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නොකඩවා දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ 2021 Army Commanders League තරගාවලියේ අවසන් මහා තරගය අද (6) දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ Northern Warriors කණ්ඩායමට එහි ශූරතාවය හිමිකර දෙමිනි. එහි අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 64කින් පරාජයට පත්වුණේ Western Warriors කණ්ඩායමයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වය ඇතිව කණ්ඩායම් 4ක් තරග වදිනු ලැබූ මේ තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි Northern Warriors සහ Western Warriors කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ නිසාවෙන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගියවර ශූරයින් වුනු Southern Warriors කණ්ඩායම සහ අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් Eastern Warriors කණ්ඩායම් දෙක මෙවර මූලික වටයෙන් ඉවත්ව ගියා. 

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Western Warriors පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. නුවන් ප්‍රදීප් විසින් Northern Warriors කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 23ක් ලබාගෙන සිටි අශාන් රන්දිකගේ කඩුල්ල දවා ගත්තා. ඉන්පසුව ඉතාමත් ඉක්මනින් තවත් කඩුලු 4ක් දවා ගත් ප්‍රදීප් ඇතුළු Western Warriors කණ්ඩායම Northern Warriors කණ්ඩායමට තිබුණු පීඩනය තවදුරටත් වැඩි කළා. 

ඒ අනුව ඔවුන්ගේ අත්දැකීම් බහුල ප්‍රබල පිතිකරුවන් වුනු නායක සීකුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන සහ අශාන් ප්‍රියන්ජන් වැනි පිතිකරුවන් එහි දී අවම ලකුණුවලට දැවී ගියා. 

කෙසේ නමුත් ඉන්පසුව පිටියට එකතු වුන යොවුන් පිතිකරු ශෙහාන් ප්‍රනාන්දු (ලකුණු 39*) සහ පැතුම් කුමාර (ලකුණ 35) 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 61ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් වැටි තිබුණු පීඩනයෙන් සිය කණ්ඩායම තරමක් මට්ටමකට ගොඩට ගැනීමට සමත් වුනා.

එහි දී වැඩිම ලකුණු ලබා ගත් ශෙහාන් 4 පහර 4ක් එල්ල කරමින් පන්දු 34ක දී නොදැවී එම ලකුණු 39* ලබාගෙන ඉනිමේ අවසානය දක්වා සිය කඩුල්ල රැකගත්තා. අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා. 

පන්දු යැවීමේ දී Western Warriors වෙනුවෙන් වැඩිම දස්කම් අතරට පැමිණි දකුණතින් වේගපන්දු යවන නුවන් ප්‍රදීප් ලකුණු 33කට කඩුලු 3ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 143ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි තිසරගේ නායකත්වයෙන් යුත් Western Warriors කණ්ඩායමට පිළිතුරු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 78ක් පමණයි. එහි දී නායක තිසර ලකුණු 21ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුවත් ඔවුන්ගේ කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් හට තිසරගේ ලකුණු ප්‍රමාණය අභිබවා සිය පුද්ගලික ලකුණු සටහන වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා වුනේ නැහැ.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ගයාන් චන්ද්‍රබූස් ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනා. ඊට අමතරව අශාන් ප්‍රියන්ජන් සහ සීකුගේ ප්‍රසන්න පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් අතරට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස Western Warriors ඉනිම ලකුණු 78කට සීමා වුනා.

ලකුණු සාරාංශය,

Northern Warriors – 142/7 (20): ශෙහාන් ප්‍රනාන්දු 39*, පැතුම් කුමාර 35, අශාන් රන්දික 23, නුවන් ප්‍රදීප් 3/33.

Western Warriors – 78 (16.1): තිසර පෙරේරා 21, මල්ක මදුශංක 20, ගයාන් චන්ද්‍රබූස් 4/16.

Northern Warriors කණ්ඩායමට ලකුණු 64ක ජයක්

තරගයේ වීරයා – ශෙහාන් ප්‍රනාන්දු (Northern Warriors)

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් Western Warriors කණ්ඩායමේ උපුල් තරංග (ලකුණු 268) තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත් අතර Northern Warriors නායක සීකුගේ ප්‍රසන්න තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාට (කඩුලු 13ක් සහ ලකුණු 150ක්) හිමි සම්මානය සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම දිනා ගත්තා.

තරගාවලිය අවසන් මහා තරගයට පසුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ඒ සඳහා අදාළ සම්මාන සහ මුදල් ත්‍යාග ලබා දුන්නා. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුනා. එසේම එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුවට රුපියල් ලක්ෂ 25ක මූල්‍යමය පිරිනැමීමක් ද සිදු කළා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<