මහනුවර ඉදිරිපෙළ හමුවේ හැව්ලොක් අසරණ වෙයි

81

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ තවත් තරගයක් සඳහා අද (01) මහනුවර ක්‍රීඩා සමාජය හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය. එම තරගයේ දී ලකුණු 33 -10 ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි අතර පසුගිය සතියේ දී ඔවුන් CR&FC පරාජය කළේ ලකුණු 39-15ක් ලෙසිනි. 

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී නාවික හමුදාව සමඟින් ක්‍රීඩා කළ අතර එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරගාවලියේ පළමු වටයේ දී මහනුවර ක්‍රීඩා සමාජය හැව්ලොක් කණ්ඩායම පරාජය කලේ ලකුණු 22-12 ක් ලෙසිනි. 

තරගයේ ආරම්භයේ සිටම මහනුවර කණ්ඩායම පන්දුව තමන් සතුකර ගනිමින් ක්‍රීඩා කල අතර තුන්වැනි මිනිත්තුවේ දී ම නයිජල් රත්වත්තේ විසින් එල්ල කළ දර්ශනීය පා පහරක් මගින් මහනුවර ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට දන්ශ දයාන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (මහනුවර 05 – 00 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම තරගයේ 8 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මඟින් මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ නමුත් ඔවුන්ට ලකුණු ලබාගැනීමට අවස්ථාව උදා වූයේ නැත. 

හැව්ලොක් කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා අවස්ථා කීපයක් හිමිවූවද එම අවස්ථා සියල්ල ව්‍යර්ථ කිරීමට මහනුවර ඉදිරිපෙළ සමත් විය. 

තරගයේ 24 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක සයාන් සබාර් හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත් මහනුවර කණ්ඩායම තරගයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට දිලක්ශ දන්ගේ සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ අමතර ලකුණු එක්කළේය. (මහනුවර 12 – 00 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම මහනුවර සීමා ඉර අසලට පැමිණීමට අවස්ථා කීපයක දී ම සමත් වූ අතර මහනුවර කණ්ඩායම ඔවුන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත.

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක තරිඳු චතුරංග හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර මහනුවර සීමා ඉර නැවතත් ආක්‍රමණය කිරීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් විය. 

නමුත් මහනුවර ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. තරගයේ පළමු අර්ධය නිමා වූයේ මහනුවර කණ්ඩායමට ලකුණු 12-00ක් ලෙස පෙරමුණ ගෙන දෙමිනි. 

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 12 – 00 හැව්ලොක් ක්‍රීඩා සමාජය 

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් මහනුවර කණ්ඩායම 42 වැනි මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඒ කවිඳු පෙරේරාගේ දක්ෂ ධාවනයකින් පසුවය. එම උත්සාහක දිනුමට හිමිකම් කීමට ලවංග පෙරේරා සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 19ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (මහනුවර 19 – 00 හැව්ලොක්)

තරගයේ 44 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ ද ඉන් පන්දුව සොරාගත් කවිඳු පෙරේරා නැවතත් පන්දුව හැව්ලොක් සීමා ඉර අසලට ගෙන ඒමට සමත් විය. නමුත් එය උත්සාහක දිනුමක් බවට පත්කිරීමට මහනුවර කණ්ඩායමට හැකි වූයේ නැත. 

තරගයේ අවසන් මිනිත්තු කීපය වන විට හැව්ලොක් කණ්ඩායම කීපවරක්ම මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ ද ඔවුන් නැවත හරවා යැවීමට මහනුවර ක්‍රීඩකයන් සමත් විය. 

තරගයේ 62 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමෙන් පන්දුව උදුරා ගත් මහනුවර කණ්ඩායම තරගයේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එම උත්සාහක දිනුම වාර්තා කිරීමට තරිඳු චතුරංග සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 26ක් බවට පත්කළේය. (මහනුවර 26 – 00 හැව්ලොක්)

මිනිත්තු 67ක නිහැඬියාවකින් පසුව හැව්ලොක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට මිතුන් හපුගොඩ සමත්වූයේ ඉක්මන් දඬුවම් පහරක් උපයෝගී කරගනිමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ නිසා හැව්ලොක් කණ්ඩායමට ලකුණු 5කින් සෑහීමකට පත්වීමට සිදුවිය. (මහනුවර 26 – 05 හැව්ලොක්)

ඉන් මිනිත්තුවක් ගතවීමට පෙර තවත් උත්සාහක දිනුමකින් පිළිතුරු දැක්වීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්වූයේ බවන්ත උඩංගමුවගේ හා ඔශාන් පෙරේරාගේ දක්ෂ පන්දු හුවමාරුවක් සමඟිනි. ප්‍රවර්තනය සාර්ථක කරගත් නයිජල් රත්වත්තේ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 33ක් බවට පත්කළේය. (මහනුවර 33 – 05 හැව්ලොක්)

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී rolling maul අවස්ථාවක් උපයෝගී කරගනිමින් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට අස්මීර් ෆජුඩීන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් සංදේශ් ජයවික්‍රම හැව්ලොක් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 12ක් බවට පත්කළේය. (මහනුවර 33 – 12 හැව්ලොක්)

තරගය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම ප්‍රබල උත්සාහයක නිරතවූවද එය සාර්ථක වූයේ නැත. තරගය නිමා වූයේ ලකුණු 33-12ක් ලෙස මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 33 (5T, 4C) – 12 (2T, 1C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ඩයලොග් Viu තරගයේ වීරයා – බුවනෙක උඩංගමුව 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 

  • මහනුවර: දන්ශ දයාන් (1T), දිලක්ශ දන්ගේ (1T), ලවංග පෙරේරා (1T), තරිඳු චතුරංග (1T), ඔශාන් පෙරේරා (1T), තරින්ද ‍රත්වත්තේ (3C), නයිජල් රත්වත්තේ (1C)
  • හැව්ලොක්: මිතුන් හපුගොඩ (1T), අස්මීර් ෆජුඩීන් (1T), සංදේශ් ජයවික්‍රම (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<