තියුණු සටනකට පසු නගරාධිපති කුසලානය යුද හමුදාවට

2022 නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලිය

55
Army beat kegalle finals mayors cup mixed netball tournament 2022

කොළඹ BRC ක්‍රීඩා පිටියේ දී කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් නගරාධිපති කුසලාන මිශ්‍ර දැල්පන්දු තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනේ 41-37ක් ලෙස අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමත් සමඟිනුයි.

පුරා දින දෙකක් මුළුල්ලේ පැවති තරගාවලියේ පළමු දිනය (24) අවසන් වන විට යුද හමුදා, නාවික හමුදා, රත්නපුර දිස්ත්‍රික් සහ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් A සහ B කාණ්ඩවල ප්‍රථම සහ දෙවැනි ස්ථාන ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගෙන තිබුණා.

අද (25) උදෑසන පැවති අවසන් පූර්ව තරගවල දී රත්නපුර කණ්ඩායම පරාජය කරමින් යුද හමුදාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි නාවික හමුදාව පරාජය කරමින් අනපේක්ෂිත ජයග්‍රහණයක් සමඟින් කෑගල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ සියලු දෙනා විශ්වාසයෙන් යුතුව නරඹන්නට සිටි යුද – නාවික ගැටුම වළක්වමිනුයි.

ලීග් ක්‍රමයට පැවති තරගාවලියේ ප්‍රථම අදියරේ දී යුද හමුදාව විසින් කෑගල්ල කණ්ඩායම ලකුණු 26-19ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා.

අවසන් මහා තරගය සවස 4:30ට පමණ ආරම්භ වූ අතර පළමු කාර්තුවේ පළමුවෙන් ලකුණු රැස් කරන්නට පටන් ගත්තේ යුද හමුදා ක්‍රීඩකයින් විසිනුයි. කෙසේ නමුත් තරගයට තරමක් අසාර්ථක ආරම්භයක් ලබා ගත් කෑගලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රථම කාර්තුවේ යුද හමුදාව හඹා යමින් 5-6ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වුනා.

ඉන් අනතුරුව යුද හමුදාවට හොඳ පීඩනයක් එල්ල කරමින් කෑගල්ල කණ්ඩායම ඉදිරියට ඇදෙන්නට වූ අතර යුද හමුදාව පළමු කාර්තුවේ අවසානයට ළං වෙද්දී කෑගල්ලට හොඳ පෙරළා අභියෝග කරමින් 11-11ක් ලෙස සමව පළමු කාර්තුව අවසන් කරන්නට සමත් වුනා.

පළමු කාර්තුව: යුද හමුදාව 11 – 11 කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම

දෙවැනි කාර්තුව ද ආරම්භ කරමින් පළමු ලකුණ වාර්තා කරන්නට යුද හමුදාව සමත් වුනා. ඉන් පසුව අඛණ්ඩව ලකුණු 4-5ක පරතරයක් ගොඩනගා ගනිමින් යුද හමුදාව එම අර්ධයේ පෙරමුණ ගන්නට සමත් වූ අතර කෑගලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ව අභිබවා යන්නට අවස්ථාවක් ඉතිරි නොකරමින් දෙවැනි කාර්තුව නිමාව දුටුවේ ලකුණු 23-19ක් ලෙස යුද හමුදාව පළමු අර්ධය ජයග්‍රාහීව අවසන් කරමිනුයි.

දෙවැනි කාර්තුව: යුද හමුදාව 12 – 08 කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම

තරගයේ තෙවැනි කාර්තුව ද ආරම්භ කරමින් පළමුවෙන් ලකුණු ලබා ගත්තේ යුද හමුදාව විසිනුයි. දෙවැනි කාර්තුවේ දී කෑගලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් සිදු වූ අත්වැරදීම් නිවැරදි කර ගනිමින් ඔවුන් තෙවැනි කාර්තුවට පිවිසි බවක් දක්නට ලැබුණු අතර තෙවැනි කාර්තුවේ අඩක් පමණ අවසන් වන විට ලකුණු 4ක්ව පැවති පරතරය එක් ලකුණක් දක්වා අඩු කර ගන්නට කෑගල්ල සමත් වුනේ 24-25ක් ලෙසයි.

කෙසේ නමුත් කෑගල්ල විසින් එල්ල කළ පීඩනය හමුවේ සාර්ථකව ඉදිරියට ගිය යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෙවැනි කාර්තුව ජයග්‍රහණය කරන්නට සමත් වුනේ 31-29ක් ලෙස ලකුණු දෙකක පරතරයක් සමඟිනුයි.

තෙවැනි කාර්තුව: යුද හමුදාව 08 – 10 කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම

මෙතෙක් සාර්ථකව සෑම කාර්තුවක්ම ආරම්භ කළ යුද හමුදාව වෙනුවට, ඉතාමත් උද්වේගකර සහ තියුණු අවසානයන් සමඟින් මෙතෙක් ඉදිරියට ආ තරගයේ වඩාත් වැදගත් සහ තීරණාත්මක කාර්තුව වූ සිව්වැනි කාර්තුවේ පළමුවෙන් ලකුණු රැස් කළේ කෑගලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනුයි.

කෙසේ නමුත් නැවතත් සාර්ථකව කෑගලු පීඩනය අභිබවා යමින් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්වැනි කාර්තුවේ අඩක් අවසන් වන විට ලකුණු 7ක පරතරයක් සමඟින් 39-32ක් ලෙස පෙරමුණ දිනා ගන්නට සමත්ව සිටියා.

යුද හමුදාවට පිටියේ සුළු හෝ විවේකයක් ලබා නොදෙමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ කෑගලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගයේ අවසන් භාගයේ දී තරමක් පසු බසින ආකාරයක් දක්නට ලැබුණේ යුද හමුදාව ගොඩ නැගූ පරතරය ඔවුන්ට හඹා යෑමට නොහැකි වෙමිනුයි.

ඒ අනුව මෙතෙක් සාර්ථකව පිටිය පුරා සිය ආධිපත්‍ය පතුරවා සිටි යුද හමුදාව විසින් සාර්ථකව තියුණු තරගයකින් පසුව සිව්වැනි කාර්තුව අවසන් කරමින් ලකුණු 41-37ක් ලෙස තරගය ජයග්‍රණය කරන්නට සමත් වුනේ යුද හමුදාව නගරාධිපති කුසලානය සඳහා උරුමකම් කියමිනුයි.

සිව්වැනි කාර්තුව: යුද හමුදාව 10 – 08 කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම

Mayor’s Challenge Mixed Netball Tournament 2022
දෙවැනි ස්ථානය දිනූ කෑගලු කණ්ඩායම

නාවික හමුදාව සහ රත්නපුර දිස්ත්‍රික් අතර පැවති තෙවැනි ස්ථානය සඳහා වන තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ නාවික හමුදා කණ්ඩායමයි.

තරගාවලියේ නිමාව සටහන් කරමින් කුසලාන, පදක්කම් සමඟින් සම්මාන ප්‍රදානය කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය අතින් සිදු කෙරුණු අතර එහි දී තෙවැනි ස්ථානය දිනූ නාවික හමුදාව සඳහා රු. 30,000/=ක් ද, අනුශූරතාවය දිනූ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සඳහා රු. 50,000ක් ද, ශූරතාවය දිනූ යුද හමුදාවට රු. 100,000/=ක් ද පිරිනමන ලදි.

ඒ සමඟින් 2022 නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලිය මෙසේ නිමාව දකින අතර තරගාවලියේ උපරිම දක්ෂතා දැක්වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com විසින් උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<