මතීෂ නැවතත් ශ්‍රී ලංකාවට!

ICC Cricket World Cup 2023

1019
Matheesha Pathirana

යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයෙන් පසුව උරහිසේ ආබාධයකට මුහුණ පෑමට සිදු වූ මතීෂ හට ඉන්පසුව ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු තරග ද්විත්වය ම අහිමි වී ගියා. 

කෙසේ වෙතත් එළඹෙන 26 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගය වන විට මතීෂ නැවතත් සුවය ලබා ගනී යැයි කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් අනුමාන කළත්, ඔවුන් සැලසුම් කළ ආකාරයට මතීෂගේ ආබාධය සුව වී නැහැ. මේ නිසා ඔහුව මෙවර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඔහු අද (23) රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි ThePapare වෙත වාර්තා වන්නේ. නමුත් මතීෂ වෙනුවට සංචිතය සමඟ එක් වන්නේ කවුරුන් ද යන වග තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ. 

බොහෝ විට මේ වන විට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකුව (Travelling Reverse) සිටින වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර, මතීෂ වෙනුවට සංචිතය සමඟ එක් වනු ඇති බව අනුමාන කළ හැකි.  

එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාව බලා පැමිණීමෙන් පසු පසු චමීර විසින් බැංගලෝරයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රි කාලයේ සිදු කළ පුහුණුවීම්වල දී කුසල් පෙරේරා, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් යන ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් අපහසුතාවට පත් කරන අන්දමේ ඉතා හොද පන්දු යැවීමක නිරත වූ බවත් ThePapare වෙත දැක ගැනීමට ලැබුණා. 

චමීරට අමතරව අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස් ද මේ වන විට ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතය සමඟ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස එක් වී සිටින අතර සංචිතයේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් මතීෂ වෙනුවට ඔහුව ද කණ්ඩායම සමඟ එක් කිරීමට හැකියාව තිබෙනවා. මැතිව්ස් ද අද රාත්‍රියේ  බැංගලෝර් හිදි පැවැත්වූ පුහුණු සැසියට සහභාගී වුනා. මොවුන් දෙදෙනා අතරින් සංචිතයට එක් වන ක්‍රීඩකයා බොහෝ විට හෙට (24) දිනයේ දී නිවේදනය කරනු ඇති. 

කෙසේ වෙතත් මේ අනුව මෙවර ලෝක කුසලානයේ හරි අඩක් තරග නිමා වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් කළ සංචිතයෙන් මතීෂ සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් දෙදෙනා ම ආබාධ නිසා ඉවත් කිරීමට සිදු වී තිබෙනවා. 

මේ අතර නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු තරගය අතරතුර නැවතත් ආබාධ තත්වයකට ලක් වූ මහීෂ් තීක්ෂණ අද සවස පුහුණු සැසියට සහභාගී වුනේ නැහැ. ඔහු ඊයේ (22) දිනයේ දී MRI ස්කෑන් පරීක්ෂණයකට සහභාගී කෙරුණු අතර බොහෝ දුරට එංගලන්තය සමඟ තරගය ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාව ලැබෙනු ඇති බවයි කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් බලාපොරොත්තු වන්නේ. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඉන්දියාවේ සිටම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<