හෙට සිට දියගමදී – 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය

146

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ජූලි 24 වැනිදා සිට 27 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමු වරට 1921 වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 63 දෙනකුගේ සහභාගිත්වය ඇතිව පැවැති මෙම ජාතික මලල ක්‍රීඩා තරගාවලියට 1000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වීමට නියමිතය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉසව් 20 බැගින් තරග ඉසව් 40ක් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන අගෝස්තු 22 සිට 30 දක්වා චීනයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා අවසන් තෝරා ගැනීමේ පරීක්‍ෂණය ලෙසත් ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු තෝරා ගැනීමේ පරීක්‍ෂණය ලෙසත් සැලකීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක අජන්ත සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ටෙලිකොම් මෙම තරගාවලියට අනුග්‍රහය ලබාදී ඇඟ බේරා ගැනීමට බලාපොරොත්තු නොවන බවය.

‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා අප ආයතනයේ හිටපු සේවකයෙක් ඒ නිසා මා ඔහු පිළිබඳවත් ඔහුගේ හැකියාවන් පිළිබඳවත් හොඳට දන්නවා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට තුන්වැනි ස්වර්ණමය යුගය උදාකිරීමේ හැකියාව සුගත් තිලකරත්න මහතා සතුව ඇති බව අපට විශ්වාසයි. ඒ නිසා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමඟ අපි දිගුකාලීන බැඳීමක් පවත්වා ගැනීමට මෙම 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පාදක කර ගන්නවා’ යැයි එතුමා අවසන් වශයෙන් සඳහන් කළේය.
මෙවර 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ පිරිමි හා කාන්තා දිවීම්, පැනීම් ඉසව්වන්හි සුවිශේෂී දක්‍ෂතා දක්වන්නන් වෙනුවෙන් තමන් සන්තකයේම තබා ගැනීම සඳහා ශූරතා කුසලාන 15ක් පිරිනැමීමය.