හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා හදිසි අනතුරකට ලක්වෙයි!

314

රූගත කිරීමකට සහභාගී වෙමින් සිටි හිටපු එංගලන්තය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Andrew Flintoff රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

BBC මගින් විකාශය කරන Top Gear රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් Surrey ප්‍රාන්තයේ රූගත කිරීමකට සහභාගී වෙමින් සිටි Freddie (Flintoff) පදවමින් මෝටර් රථය අනතුරකට භාජනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ වන විට 45 වැනි වියේ පසු වන Flintoffට මුහුණ දීමට සිදු වූ අනතුර පිළිබඳ BBC මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“අද උදෑසන Top Gear වැඩසටහන වෙනුවෙන් සහභාගී වෙමින් සිටිය දී Freddie රිය අනතුරකට මුහුණ දුන් අතර, කාර්‍යමණ්ඩලයේ වෛද්‍ය සහයකයින් වහාම එම ස්ථානයට පැමිණියා. ඔහු ඉන් පසුව ඉදිරි ප්‍රතිකාර සඳහා ගුවන් මගින් රෝහල වෙත රැගෙන ගියා.”

Flintoffගේ තත්වය එතරම් ම බරපතළ නොවන බවත් විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා. තවදුරටත් දැන ගන්නට ලැබෙන්නේ ඔහු සිය වාහනය ධාවන පථය තුල සාමාන්‍ය වේගයකින් ධාවනය කර ඇති බවයි.

“අපි රූගත කිරීම්වල සාමාන්‍යයෙන් භාවිත වන සෞඛ්‍යාරක්ෂිත පියවර සියල්ල සූදානම් කරලයි තිබුණේ. අනතුරෙන් පස්සේ රූගත කිරීම් නතර කරලයි තියෙන්නේ, දැන් හැමෝගෙම අවධානය තියෙන්නේ Freddieගේ සුව වීම පිළිබඳවයි,” යනුවෙන් එම සිදුවීම පිළිබඳ වැඩසටහන් සංවිධායකයින් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

මීට පෙර 2019 වසරේ දී ද මෙම Top Gear වැඩසටහනක් රූගත කරමින් සිටිය දීම  Flintoffට රිය අනතුරකට මුහුණ දීමට සිදු වූ අතර, එවර ඔහුගේ වාහනය ධාවනය වී තිබුණේ පැයට කිලෝමීටර 125ක පමණ වේගයකිනි.

“මම Top Gear රූගත කිරීම් වෙනුවෙන් ඉතා මහන්සියෙන් වැඩ කළා, මේ වතාවේ ඒක ටිකක් දුර දිග ගියා. නමුත් එය ඔබ රූපවාහිනියෙන් දකිද්දී නම් භයානක බවකටත් වඩ විහිළු සහගත බවක් දැනේ වී,” එදා රිය අනතුරෙන් පසුව Andrew Flintoff මාධ්‍ය හමුවේ එසේ පවසා තිබුණා.

දිනෙන් දින අලුත් වන ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<