IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

IPL 2023

5698

2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර, එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රකාරව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා. ඊට අමතරව අනුබද්ධිත රටවලින් (Associated nations)  ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වී තිබෙනවා.

මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 තුල විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 87 දෙනෙකු සඳහා ඉඩ කඩ පවතිනවා.

මෙම ක්‍රීඩකයින් අතරට එක්වී ඇති සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක් ලෙස සඳහන්ව ඇති අතර, මේ ක්‍රීඩකයින් අතරින් දුනිත් වෙල්ලාලගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා නොසිටීම ද විශේෂත්වයකි.

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • කුසල් මෙන්ඩිස්
  • දසුන් ශානක
  • දුශ්මන්ත චමීර
  • පැතුම් නිස්සංක
  • චරිත් අසලංක
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • ඩිල්ශාන් මදුශංක
  • ධනංජය ද සිල්වා
  • දුනිත් වෙල්ලාලගේ

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • වනිඳු හසරංග – Royal Challengers Bangalore
  • මහීශ් තීක්ශණ – Chennai Super Kings
  • මතීෂ පතිරණ – Chennai Super Kings
  • භානුක රාජපක්ෂ – Punjab Kings

2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<