93 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙර

ආනන්ද - නාලන්ද 93 වැනි සුලෝහිත මහා සංග්‍රාමය

259

මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් සංග්‍රාමයේ 93 වැනි දිගහැරුම 2023 මාර්තු 4 සහ 5 දෙදින කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ගෝලීය කොරෝනා වසංගත තත්වයත් සමඟ වසර දෙකක කාලයකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැතිව මෙවර මේ මහා තරගය පැවැත්වීම විශේෂත්වයක්.

අතීතාවර්ජනය

අවසන් වරට පැවැත්වුණු සුලෝහිත සංග්‍රාමය නාලන්දයට සුවිශේෂී වූ අතර එහි දී ඔවුන් වසර 69කට පසු දෙදින මහා තරගයක් ජය ගනිමින් ආචාර්ය එන්. එම් පෙරේරා කුසලානය ඔවුන් සතුකර ගන්නට සමත් වුනා. එසේම ආනන්ද ක්‍රීඩකයින් අවසන් වරට දෙදින මහා තරගයක් ජයගෙන තිබෙන්නේ 2003 වසරේ දී. ඒ දුමින්ද කුලරත්නගේ නායකත්වයෙන්.

1924 සිට පැවත එන මේ මහා තරග ඉතිහාසය පුරාවට තීරණයක් සහිතව තරග අවසන් වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්. ඒ අනුව මේ දක්වා ක්‍රීඩා කර තිබෙන තරග 92න් තරග 12ක් ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙන අතර තවත් තරග 7ක් නාලන්දා විද්‍යාලය ජයගෙන තිබෙනවා. තරග 73ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

ආනන්ද විද්‍යාලය

තෙවැනි වසරටත් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක නෙත්ම සමරවීරගේ නායකත්වය යටතේ ආනන්ද කණ්ඩායම මෙවර මහා තරගයට අවතීර්ණ වෙනවා.

ආනන්ද විද්‍යාලය 2022/23 තරග වාරයේ දී ඔවුන් සහභාගී වුනු දෙදින තරග 15න්, තරග 3ක පූර්ණ ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 2ක් ද එයට ඇතුළත්. ඊට අමතරව තවත් තරග දෙකක් කිසිදු ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා. පරාජයන් වෙත අවධානය යොමු කිරීමේ දී පළමු ඉනිමේ පරාජයන් හතරක් සහ පූර්ණ තරග පරාජයන් හතරක් එයට ඇතුළත්.

>>Photos – Ananda College Big Match Preview 2023<<

එසේම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ආනන්ද කණ්ඩායම මේ වන විට සමත් වී තිබෙනවා.

මෙම තරග වාරයේ ඔවුන්ගේ පිතිකරණ අංශයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ ආරම්භක වමත් පිතිකරු විදුන විජේබණ්ඩාරයි.

සිය මංගල මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින 18 හැවිරිදි කඩුලු රකින පිතිකරු විජේබණ්ඩාර අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 493ක් ලබාගෙන තිබෙනවා.

අනෙක් පසින් මෙම තරග වාරය තුළ ලකුණු 400කට වැඩියෙන් ලබාගෙන තිබෙන උපනායක ඉරුත් ගිම්ශාන් සහ වයස අවුරුදු 14ක් වන කිත්ම විදානපතිරණ පිතිකරුවන් ලෙස ඉතාමත් හොඳ රිද්මයක සිටිනවා.

එසේම දකුණතින් පිට දඟපන්දු යවන විදානපතිරණ මෙවර තරග වාරය තුල කඩුලු 42ක් දවාගෙන ඇත්තේ ඉනිමක දී ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීම සිය හොඳම පන්දු යැවීම ලෙස සටහන් කරගෙනයි.

තවද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ආරම්භක පිතිකරු සහ වමතින් දඟපන්දු යවන අශිංස නයිනායක, අයේෂ් ශෂීමාල් සහ ඉසුරු අයෙෂ් පිළිවෙළින් කඩුලු 37ක්, කඩුලු 28ක් සහ කඩුලු 27ක් දවාගෙන තිබෙනවා.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් වන ජනුදික ශ්‍රියාපාල මහතා මෙවර ආනන්ද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතර සංජය දේවපුර මහතා කණ්ඩායමේ සහාය පුහුණුකරු වෙනවා.

ආනන්ද විද්‍යාලයේ මහා තරග සංචිතය: නෙත්ම සමරවීර (නායක), ඉරුත් ගිම්ශාන් (උපනායක), ඉසුරු වීරසූරිය, අයේෂ් ශෂීමාල්, විලාෂ් කරුණාරත්න, විදුන විජේබණ්ඩාර, යෙහාන් ගුණසිංහ, අශිංස නයිනායක, කවීෂා මෙන්ඩිස්, පුලිඳු කිරිඇල්ල, කිත්ම විදානපතිරණ, මලීෂ පෙරේරා, කාංචන ද ලිවේරා, රුවිශාන් පෙරේරා, දිනද අතලගේ, කෙනුල ද සොයිසා, ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සංජය දේවපුර (සහාය පුහුණුකරු)

නාලන්දා විද්‍යාලය

තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන චනුල් අතුකෝරල මෙවර මහා තරගයේ දී නාලන්දා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෙය ඔහු ක්‍රීඩා කරනු ලබන දෙවැනි මහා තරගයයි.

නාලන්දා විද්‍යාලය ද මෙවර දෙදින තරග වාරයේ දී හොඳ දක්‍ෂතා දක්වා තිබෙනවා. ඔවුන් තරග 15ක් ක්‍රීඩා කරමින් ධර්මපාල සහ ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණ 2ක් සමඟ පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව පළමු ඉනිමේ පරාජයන් 8ක් සහ තීරණයක් සහිතව අවසන් වුනු තරග 2ක් නාලන්දයේ නමට ඉදිරියෙන් සටහන් වනවා.

තරග 15ක දී ලකුණු 1194කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති ආරම්භක දකුණත් පිතිකරු රුසිරු විලෝචන මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය තුල නාලන්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වනවා. එසේම මෙවර තරග වාරය තුල ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පළමු සහ එකම පිතිකරු වන්නේ ද විලෝචනයි. ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතක 7ක් සමඟ එම ලකුණු ප්‍රමාණය ලබාගත්තා.

ඊට අමතරව සදෙව් සමරසිංහ, යසිරු සමරකෝන් සහ එරංග ජයකොඩි ලකුණු 500කට වැඩියෙන් ලබාගෙන තිබෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමු කර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා නාලන්දා විද්‍යාලයට ඉතාමත් වැදගත් හා තීරණාත්මක වෙනවා.

>>Photos – Nalanda College Big Match Preview 2023<<

තරග 15ක දී කඩුලු 46කට හිමිකම් කියන දකුණතින් පිට දඟපන්දු යවන මිනෝද් කල්දේරා මෙවර තරග වාරය තුල නාලන්දා විද්‍යාලය සතුව සිටින දක්ෂතම පන්දු යවන්නා වනවා. ඔහුට අමතරව වමතින් දඟපන්දු යවන උප නායක සජිත විතානෙග් සහ ජනුල ඉඳුසර පිළිවෙළින් කඩුලු 39ක් සහ කඩුලු 28ක් දවාගෙන තිබෙනවා.

මාලිංග සුරප්පුලිගේ මහතා මෙවර නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රුවන් දිසානායක මහතා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වගකීම දරනවා.

නාලන්දා විද්‍යාල මහා තරග සංචිතය: චනුල් අතුකෝරල (නායක), සජිත විතානගේ (උප නායක), එරංග ජයකොඩි, මිනෝද් කල්දේරා, කුශ්මිත සිල්වා, යසිරු සමරකෝන්, රුසිරු විලෝචන, ජනුල ඉඳුසර, සදෙව් සමරසිංහ, සෙනේෂ් විජේසිංහ, අකේෂ් මනෝරත්න, තිසර දෙව්දුනු, සත්මින සේරසිංහ, රිසත් ජයරත්න, ඔසඳ පමුදිත, තිමත් හේරත්, මාලිංග සුරප්පුලිගේ (ප්‍රධාන පුහුණුකරු), රුවන් දිසානායක (සහාය පුහුණුකරු)

මෙවර තරග වාරය තුළ කණ්ඩායම් දෙකම දැක්වූ දක්‍ෂතා පිළිබඳව සලකා බලන විට කණ්ඩායම් දෙකම ඉතාමත් සමබර ලෙස දස්කම් දක්වා තිබෙනවා.

මාර්තු 4 සහ 5 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 93 වැනි සුලෝහිත සංග්‍රාමය පෙරවරු 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog Viu හරහා සජීව ලෙස නැරඹීම හැකියාව ඔබට සලසා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<