වාර්තා හතක් සමඟ අවසන් වූ සිව්වැනි දිනය

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2022

342

පාසල් මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ සිව්වැනි දිනයේ දී නව වාර්තා හතක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

බාලිකා කාණ්ඩයෙන් ඊයේ (05) දිනයේ දී වාර්තා හතරක් බිහි වෙද්දී, බාලක කාණ්ඩයේ වාර්තා තුනක් ද ඊයේ බිඳ වැටුණා.

තරගාවලියේ පිහිට වූ දෙවැනි තරගාවලි වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින් වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 80 ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවීමට කනුමුල්දෙනිය විද්‍යාලයේ ටී. කුමාරනායකට හැකි වුනේ තත්පර 9.64ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

18න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වේ මීටර් 15.11ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාව බිඳ හෙළීමට වාරියපොළ ගන්නෝදය මධ්‍ය මහා විද්‍යාලයේ කේ. දිසානායක සමත් වෙද්දී එම ඉසව්වේ 20න් පහළ වාර්තාව ද බිඳ හෙළීමට Yosheeda ජාත්‍යන්තර විද්‍යාලයේ කේ. කෝරාලට (මීටර් 15.59) හැකි වුනා.

පාසල් මලල ක්‍රීඩා පිටියේ සිය ආධිපත්‍ය නැවතත් ප්‍රදර්ශනය කළ ජාතික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න 20න් පහළ බාලිකා මීටර් 800 නව වාර්තාවක් පිහිට වුනේ මිනිත්තු 2:08.16ක කාලයකින් සිය ඉසව්ව අවසන් කරමිනුයි.

මීටර් 800 බාලිකා ඉසව්වේ අවුරුදු 18න් පහළ තරගාවලි වාර්තාව ද බිඳ හෙළීමට  ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ එන්. වික්‍රමසිංහට හැකි වූ අතර ඇය තරගය අවසන් කළ කාලය මිනිත්තු 2:13.09ක් ලෙස සටහන් වුනා.

බාලිකා හෙල්ල විසිකිරීම 16න් පහළ කාණ්ඩයේ මීටර් 38.71ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට මොරටුව වේල්ස් කුමරි විදුහලේ උදේශානි වීරසිංහ සමත් වූ අතර 20න් පහළ බාලිකා මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ නව වාර්තාවක් ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ එල්. දිසානායක (තත්පර 14.55) පිහිටවූවා.

>> තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල <<

සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු 882.5ක් ලබා ගනිමින් බස්නාහිර පළාත් කණ්ඩායම් පළාත් කාණ්ඩයේ ආධිපත්‍ය හිමි කරගෙන සිටින අතර ලකුණු 277ක් ලබා ගත් දකුණු පළාත දෙවැනි තැන පසුවනවා.

බාලක කාණ්ඩයේ සිව්වැනි දින අවසානයේ කුරුණෑගල ශ්‍රීමත් කොතලාවල ක්‍රීඩකයින් (49) අභිබවමින් නැවතත් පළමු ස්ථානයට පැමිණීමට වත්තල ලයිසියම් ක්‍රීඩකයින් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 74.5ක් සමඟයි.

බාලිකා අංශයේ සුපුරුදු ආධිපත්‍ය රඳවා ගනිමින් තවදුරටත් පෙරමුණේ පසු වීමට ප්‍රසාද ලකුණු 95ක් සමඟ වලල ඒ රත්නායක විද්‍යාලයට හැකිව තිබෙන අතර වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන් දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ලකුණු 54ක් ලබා ගෙනයි.

තරගාවලියේ පස්වැනි සහ අවසන් දිනය අද (06) වන අතර තරගාවලියේ අවසන් දිනයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<