ජනාධිපති කුසලානය Hameed Al Husseinie ක්‍රීඩකයින්ට

Oxford President’s Cup

322

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ (27) පැවති අවසාන මහා තරගයෙන් කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් 2020 Oxford ජනාධිපති කුසලානය ජයග්‍රහණය කිරීමට Hameed Al Husseinie ක්‍රීඩකයින් සමත් වුනා.

මෙම තරගාවලියේ දී Hameed Al Husseinie ක්‍රීඩකයින් ඩී. එස්. සේනානායක කණ්ඩායම ගෝල 6-0ක්, වෙස්ලි විද්‍යාලය ගෝල 5-0ක් සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ගෝල 7-2ක් ලෙස පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබූ අතර කළුතර මුස්ලිම් විද්‍යාල විසින් ධර්මදූත විද්‍යාලය ගෝල 4-0ක්, Al Azhar Central ගෝල 2-0ක් සහ සාන්ත තෝමස් විද්‍යාලය ගෝල 2-0ක් ලෙස පරාජය කර තිබුණා.

අවසන් මහා තරගය ආරම්භයේ දී සුපුරුදු දස්කම් අතරට පිවිසීමට Hameed Al Husseinie ක්‍රීඩ්කායින්ට නොහැකි වූ අතර ඔවුන්ට ලැබූ නිදහස් පහර අවස්ථා ද්විත්වයක්ම අපතේ ගියා.

එම අර්ධයේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් දඬුවම් පහරක් සඳහා ඉල්ලීම් කළ අවස්ථාවක් විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විනිසුරු තීරණ පිළිබඳව තරමක ප්‍රශ්නාර්ථයක් මතු වුනා.

කෙසේ නමුත් සිය කණ්ඩායමට අවශ්‍ය වූ ඉදිරිය ලබා දීමට Hameed Al Husseinie ක්‍රීඩක මොහොමඩ් සර්ෆාන් 40 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කිරීමට සමත් වුනේ දිනේෂ් සුරේන් ලබා දුන් පන්දුවක් සාර්ථකව දැල තුළට එල්ල කරමිනුයි.

දෙවැනි අර්ධය තුළ මුස්ලිම් විද්‍යාලයීය ක්‍රීඩකයින් තවත් ගැටලුවකට ඇද දමමින් ඔවුන්ගේ නායක මොහොමඩ් අමර් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර ඔවුන්ට තරගයේ ඉතිරි කාලය ක්‍රීඩා කිරීමට සිදු වුනේ ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙනුයි.

එම වාසියෙන් උපරිම ඵල නෙලා ගත් මොහොමඩ් සර්ෆාන් නැවතත් ක්‍රියාත්මක වෙමින් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය රැස් කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කළා.

මීට අමතරව ඊයේ (27) පැවති තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් ගෝල 5-0ක් ලෙස පරාජය කරමින් තෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට හැකි වුනා.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් සුපුන් පීරිස් 9 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස් කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ නිශාර් ප්‍රනාන්දු 40 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස් කළා. නිපුන ද මෙල් 52 සහ 62 වැනි මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් රැස් කළ අතර පස්වැනි ගෝලය රැස්කළේ මොහොමඩ් කලාම් විසිනුයි.

  • අවසන් තරගයේ වීරයා – මොහොමඩ් කලීඩ් (Hameed Al Husseinie)
  • හොඳම ගෝල රකින්නා – එම්. එන්. අහමඩ් (කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය)
  • රන් සපත්තුව: මොහොමඩ් සෆාන් (Hameed Al Husseinie)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා: මොහොමඩ් සෆාන් (Hameed Al Husseinie)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<