බදුරලියෙන් වීරයින් දෙදෙනෙකු බිහිවූවත් තරග ජය SSC පිළට

1174
SLC Premier League - Tier A

දේශීය ක්‍රිකට් පිටිය කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 6ක් අද (30) නිමාව දිටීය. ඒ අතුරින් SSC කණ්ඩායම පමණක් පූර්ණ තරග ජයග්‍රහණයක් අත් කරගත් අතර NCC, ටැමිල් යූනියන්, සැරසන්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරමින් තම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් ඉහළ දමා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ශම්මු සහ අසලංක SSC ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වෙයි

සිංහල ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

SSC පිළට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගය අද පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා වුනු එකම තරගය බවට පත්විය. SSC ක්‍රීඩකයින් මුල් ඉනිම වෙනුවෙන් වාර්තා කල ලකුණු 347ට පිලිතුරු ලෙස බදුරලිය පිතිකරුවන් ප්‍රථම ඉනිමේදී ලකුණු 143ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 237ක් රැස් කළහ. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 34ක පහසු ඉලක්කයක් හඹාගිය SSC පිතිකරුවන් කිසිදු කඩුල්ලක් නොදැවී එම අභියෝගය ජය ගන්නට සමත් විය.

පරාජිත බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් වීරයින් දෙදෙනෙකු නිර්මාණය වූ අතර පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක අලංකාර අසංක ලකුණු 126ට කඩුලු 6ක් බිඳ දැමීය. බදුරලිය දෙවැනි ඉනිම වෙනුවෙන් අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිසුණු සාලිය සමන් පිටිය සිසාරා විශිෂ්ට ලෙස පහරවල් එල්ල කරමින් ලකුණු 129ක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම දැකුම්කළු හතරේ පහර 6කින් සහ යෝධ හයේ පහර 13කින් සවිබල ගැන්විය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 92.5): ශම්මු අශාන් 95, චරිත් අසලංක 66, සචිත්‍ර සේනානායක 62, කවිඳු කුලසේකර 52, අලංකාර අසංක 6/126

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 38.5): ශිරාන් රත්නායක 51, ජෙෆ්රි වැන්ඩර්සේ 6/44

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 50.2): සාලිය සමන් 129, ශෙහාන් ප්‍රනාන්දු 38, සචිත්‍ර සේනානායක 4/76, කසුන් මධුශංක 3/59.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 39 (පන්දුවාර 5.2): රුමේෂ් මෙන්ඩිස් 20*, මිනෝද් භානුක 16*.


ගාලු ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ප්‍රබල NCC කණ්ඩායමට හිමිවූ මෙම තරගය NCC පිටියේදීම පැවැත්විනි. NCC ප්‍රථම ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ පෙරේරා සහ සඳුන් වීරක්කොඩි ශතක වාර්තා කිරීමට සමත් විය. ලකුණු 370ක හඹාගිය ගාලු ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිම ලකුණු 170කට සීමා විය. අද තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කල NCC පිතිකරුවෝ සියලු දෙනාම දැවී ලකුණු 330ක් රැස් කිරීමට සමත් වූහ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 83.5): ඇන්ජෙලෝ පෙරේරා 139*, සඳුන් වීරක්කොඩි 110, තරිඳු කෞෂාල් 43, ශාලික කරුණානායක 4/74, රොෂාන් ජයතිස්ස 4/117.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 170 (පන්දුවාර 61.1): දමිත හුණුකුඹුර 66, යශෝද ලංකා 43, විශ්ව චතුරංග 24, චතුරංග ද සිල්වා 4/66.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 330 (පන්දුවාර 75.5): චතුරංග ද සිල්වා 86, ඇන්ජෙලෝ පෙරේරා 81, සඳුන් වීරක්කොඩි 44, ජෙහාන් මුබාරක් 22, රොෂාන් ජයතිස්ස 5/153, යශෝධ ලංකා 3/25.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ප්‍රබල ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට හිමිවිය. ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 314ට පිලිතුරු ලෙස බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් රැස් කළේ ලකුණු 115ක් පමණි. පූර්ණ තරග ජයක් සඳහා කුරුමානම් ඇල්ලූ ටැමිල් යූනියන් ක්‍රීඩකයින් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 120ක් ලබාගෙන ඉනිම අත්හිටවූවත් බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් දිනය නිමාවන තුරු පිතිකරණයේ යෙදෙමින් තරගය බේරා ගැනීමට සමත් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 314 (පන්දුවාර 87.3): තරංග පරණවිතාන 60, මනෝජ් සරත්චන්ද්‍ර 57, දිනුක් වික්‍රමනායක 49*, කිත්රුවන් විතානගේ 49, සිතාර ගිම්හාන් 46, ශශ්‍රීක පුස්සෙගොල්ල 5/102, මලිත් ද සිල්වා 4/66.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 37.2): නිසල් ෆ්‍රැන්සිස්කෝ 45, රමිත් රඹුල්වැල්ල 4/36, ජීවන් මෙන්ඩිස් 2/09, චරිත් ජයම්පති 2/12.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 120 (පන්දුවාර 21): දිනුක් වික්‍රමනායක 30, තරංග පරණවිතාන 36, චාමික කරුණාරත්න 38.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 172 (පන්දුවාර 63): නිසල් ෆ්‍රැන්සිස්කෝ 34, නිපුන් කරුණානායක 62, ලහිරු ජයකොඩි 53.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ලකුණු 36කින් තීරණය වුනු මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයින් බවට පත්වූයේ මුලින් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩා සමාජයයි. තෙවැනි දිනය නිමාවන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කල මුවර්ස් පිතිකරුවන් සියලු දෙනාම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 256ක් පමණි. ඒ සැරසන්ස් ක්‍රීඩා සමාජය මුලින් රැස්කල ලකුණු 292ට ප්‍රතිචාර වශයෙනි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 292 (පන්දුවාර 80): ඉරෝෂ් සමරසූරිය 85, මිලින්ද සිරිවර්ධන 50, හර්ෂ කුරේ 35, සචිත්‍ර පෙරේරා 3/59, ප්‍රමෝද් මධුවන්ත 3/88.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 256 (පන්දුවාර 78.5): පබසර වඩුගේ 52, ප්‍රිමෝශ් පෙරේරා 36, ප්‍රමෝද් මධුවන්ත 41*, චතුර රන්දුනු 3/37, මිලින්ද සිරිවර්ධන 2/11, සුරාජ් රන්දිව් 2/51.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

සදීර සමරවික්‍රම වාර්තා කල ශතකයෙන් සවිමත් වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. කෝල්ට්ස් පිළ මුලින් පන්දුවට පහර දී රැස්කල ලකුණු 360ට පිලිතුරු වශයෙන් BRC පිතිකරු රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 249ක් පමණි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 360 (පන්දුවාර 116.3): සදීර සමරවික්‍රම 119, හෂාන් දුමිඳු 72, දිනුක හෙට්ටිආරච්චි 6/115, ටී. එම්. සම්පත් 3/89.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 249 (පන්දුවාර 83.3): ලසිත් ලක්ෂාන් 48, හෂේන් රාමනායක 46*, භානුක රාජපක්ෂ 39, ප්‍රභාත් ජයසූරිය 2/35, අකිල ධනංජය 2/47.


රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

වර්ෂාවෙන් දැඩි ලෙස බාධා සිදුවුණු මෙම තරගය නිමාවට පත්වූ‍යේ ජය පරාජයකින් තොරවයි. හොඳින් ලකුණු තිබූ තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රිකට් සමාජය කඩුලු 9කට ලකුණු 406ක් රැස් කිරීමට සමත් විය. එය හඹාගිය CCC පිතිකරුවන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 232ක් ලබා සිටියහ. රාගම ප්‍රථම ඉනිම වෙනුවෙන් සමීර ද සොයිසා ලකුණු 94ක් ද, CCC ප්‍රථම ඉනිම වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර ලකුණු 93ක් ද රැස් කළහ.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 406 (පන්දුවාර 135.2): සමීර ද සොයිසා 94, ලහිරු මිලන්ත 64, උදාර ජයසුන්දර 50, ලහිරු තිරිමාන්න 66, රොෂේන් සිල්වා 45, ලහිරු ගමගේ 4/103.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 232 (පන්දුවාර 36): ඩිල්ශාන් මුණවීර 93, රොන් චන්ද්‍රගුප්ත 76, ලක්ෂාන් සඳකැන් 25, අමිල අපොන්සු 3/47.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට