අකිල යළිත් දස්කම් අතරට

8298

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින මෙන්ම ටෙස්ට් තරග අංශවල දී වැඩියෙන්ම දස්කම් දැක්වූ පන්දු යවන්නාය. එහෙත් පන්දු යැවීම සඳහා වූ නීත්‍යානුකූල මට්ටමෙන් ඔබ්බට යෑම නිසා  අකිලට තාවකාලික ජාත්‍යන්තර තහනමක් පැනවිණි. එබැවින් ඔහුගේ ඉරියව්ව යළි නිරාකරණය කිරීම, මෙරට පුහුණුකරුවන්ගේ ප්‍රධානම ඉලක්කය වී තිබේ. ඒ සඳහා ඔවුහු සති 4ක කාලයක් වෙන් කළහ.

ආන්දෝලනයට තුඩු දුනු අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ඔහු නැවතත් තරග බිමට පිවිසියේය. ඒ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ ඉකුත් සති අන්තයේ පැවති කෝල්ට්ස් සහ බී. ආර්. සී. කණ්ඩායම් අතර තරගයේ දීය.

>>දෙහදක බර දරා සිටි පුජාරාගේ සවිමත් හදවත

වෙන තරගවලට වඩා මෙම තරගය වැඩි විශේෂත්වයක් ගනු ලැබුවේය. ඒ ක්‍රීඩාංගණය වටා කැමරා පද්ධතියක් සවි කිරීමෙනි. ඒ සෑම කැමරාවක්ම අකිලගේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද පන්දු යැවීමේ ඉරියව්ව නිරීක්ෂණය කිරීම සඳහාය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයට යාබදව පිහිටා ඇති බී. ආර්. සී. ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ දී,පන්දුව අතට ගත් අකිල දෙවැනි දින අවසන් වද්දී පන්දු වාර 19ක් යවමින් ලකුණු 50ක් ලබා දී ප්‍රතිවාදී පිලේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. හිටපු ටෙස්ට් නායකයකු වූ ටී. එම්. ඩිල්ෂාන්ගේ සොහොයුරා වූ ටී. එන්. සම්පත්, බී. ආර්. සී. නායක රුමේෂ් බුද්ධික සහ මධුක ලියනපතිරණ දෙවැනි දිනයේ අකිලගේ ගොදුරු බවට පත්වූ පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ.

ඉන් නොනැවතුණු අකිල තරගයේ අවසන් දිනයේදීත් යළිත් ක්‍රියාත්මක වෙමින් දේවින්ද් පත්මනාදන්ගේ කඩුල්ල දවා ගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලද පළමු පන්දු යැවීම සනිටුහන් කර ගනු ලැබුවේ පන්දුවාර 30ක දී නිලකුණු පන්දුවාර 07ක් ද සමඟින් ලකුණු 104කට කඩුලු 4ක් වශයෙනි.

සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයේ පන්දු යැවීමේ ඉරියව්වක් වෙනස් කිරීමේ දී පන්දු පාලනය සහ නිවැරදි ස්ථානයේ පන්දුව පතිත කිරීම අසීරු කරුණක් බවට පත්ව තිබුණ ද අකිලගේ ඒ සියල්ල ‘කෙස් ගහටම’ තිබුණා යැයි කිවහොත් නිවැරදියි. ඒ මන්ද එම පන්දු යැවීමේ දී ඔහු එකම හෝ වයිඩ් පන්දුවක් යවා නොතිබීම මෙන්ම ටෙස්ට් තරගයක දී පන්දු වාරයකට ලබා දිය යුතු සාමාන්‍යයක් සිය පන්දු යැවීම තුළ පවත්වා ගෙන යෑමට සමත්වී තිබීම නිසාය. එය සංඛ්‍යාත්මකව කිවහොත් අකිලගේ පන්දු වාරයකට ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 3.46ක පමණ සංඛ්‍යාවකි. එය කෝල්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ප්‍රධානතම පන්දු යවන්නන් අතරින් වාර්තා වූ හොඳම පන්දු යැවීම ලෙස ද සටහන් විය.

>>ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ලකුණු මැෂිම – පැතුම් නිස්සංක

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා සිටින ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය හෙවත් High Performance Centre හි ප්‍රධානී අසංග ගුරුසිංහ මහතා ThePapare.com වෙබ් අඩවියට සඳහන් කර සිටියේ, අකිලගේ ඉරියව්ව නැවතත් ජාත්‍යන්තරයේ පරීක්ෂණය සඳහා යොමු කිරීම පිළිබඳව තීරණය ඉදිරි සතිය ඇතුළත ගැනීමට බලාපොරොත්තු වන බවයි.

”අපි සඳුදා දවසේ කළේ ඒ තරගයෙදි අකිල පන්දු යවපු ඉරියව්ව පිළිබඳව අධ්‍යයනය කරන එක. ඒ තරගයේ දී ඔහු පන්දු යැවූ සියලුම පන්දු යැවීමේ වීඩියෝ අප සතුව තියෙනවා. එතන දී අපි ප්‍රධාන වශයෙන්ම බලන්නේ එයාගේ අලුත් ඇක්ෂන් එක, අපිට සෑහීමකට පත්විය හැකි තත්ත්වයක තියෙනවා ද කියන එක” යැයි පවසන ගුරුසිංහ, එසේ සෑහීමකට පත්වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳ යළි පරීක්ෂණයක් කිරීම සඳහා ඉන්දියාව බලා අකිලව පිටත් කර හරින බව ද සඳහන් කර සිටියේය.

දඟපන්දු යවන්නන් අතින් ලොව කප් ගැසූ රටක් නම් ඒ ශ්‍රී ලංකාවය යන්න අවිවාදිතය. ඒ පිළිබඳව අභිමානයෙන් අපට කතා කළ හැක්කේ ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් දකුණත් පන්දු යවන්නා මෙන්ම වමත් පන්දු යවන්නා ද අප රටින් බිහි කර ඇති නිසාය. ඔවුහු දැන් විශ්‍රාම ගොසිනි. ඒ හිදැස පිරවීම, ලේසි පහසු කටයුත්තක් නොවන බව බොහෝ දෙනාගේ අදහස බවට පත්විය. එතැන දී අවසන් වසර කිහිපයෙහි තේරීම් කටයුතු භාරව සිටින ලද පිරිස් නොයෙක් අත්හදා බැලීම් වළ නියැළුණහ. නවක මෙන්ම හිටපු පන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කළහ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අකිල ධනංජයගේ දෙවැනි ආගමනය සනිටුහන් වන්නේ එසේ සිදු කරන ලද පරීක්ෂණයක් හරහා ය.

>>පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව

එහෙත් එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර දී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව විනිසුරුවෝ සැක පහළ කළහ. ඒ අනුව සිදු කරන ලද පරීක්ෂණයේ දී අකිලගේ පන්දු යවන අත පන්දු යවන්නෙකුට ලබා දී තිබෙන අංශක 15ක ප්‍රමාණය ඉක්මවාලමින් යන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට දැනුම් දුන්නේය. එය සංඛ්‍යාත්මකව පෙන්වා දී ඇති ඔවුහු, අකිල යවන ලද ඇතැම් පන්දු අංශක 23ක අගයක් දක්වා නැවෙන බව ද පෙන්වා දී තිබේ.

අසංක ගුරුසිංහ මහතාගේ යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩ සටහනෙහි, අකිල සමඟ ළඟින්ම කටයුතු කළේ පියල් විජේතුංග මහතාය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇතුළු මෙරට පුහුණු කාර්යය මණ්ඩලයේ ප්‍රධානම අරමුණ බවට පත්ව ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය පෙර අකිලව කෙසේ හෝ සූදානම් කිරීමය.

ප්‍රථමයෙන්ම 2012 වසරේ දී ජාත්‍යන්තර තරග වරම් දිනා ගනු ලැබූ අකිල මේ වන විට ටෙස්ට් තරග 5කට සහභාගි වෙමින් කඩුලු 27ක් ද, එක්දින තරග 30ක දී කඩුලු 46ක් ද බිඳ හෙළා තිබේ. 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලද අකිල මේ වන විට එම අංශයේ තරග 16 කට ක්‍රීඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 14කි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<