මලල ක්‍රීඩා පුහුණු සංචිතයක් නුවරඑළියට

132

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කර ගනිමින් නේවාසික පුහුණු කඳවුරක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ මෙම මස 04 වැනිදා සිට නුවරඑළියේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ඔලිම්පියන්ස්ලාට නව වරප්‍රසාදයක්

මෙම පුහුණු කඳවුර පිළිබඳව Daily News වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් වන බවයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩා සංචිතය පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ මාස හයක පුහුණු කඳවුරකට සහභාගි වීමට නියමිතයි. අප පසුගිය සතියේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා, එහි දී අපට තහවුරු වුනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට හොඳම ස්ථානය එය බව.

අපගේ පුහුණුකරු මණ්ඩලයේ ද අදහස වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුදු මට්ටමේ සිට උස් ස්ථානයක පුහුණු වීම කටයුතු සිදු කළ යුතු බවයි. ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැකි ඉක්මනින් නුවරඑළිය බලා පිටත්වේවී.

මේ දක්වා අපේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා නැහැ. නමුත් කොරෝනා වයිරසයේ බලපෑම මත ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කල නිසාවෙන් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට ආසන්න සංඛ්‍යාවක් ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වී ඇති නමුත් වයිරස තත්වයේ බලපෑම මත ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව දෙසැම්බර් මස දක්වා අත්හිටුවීම නිසාවෙන් තවමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම දස්කම් වර්ධනය කරගනිමින් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වී ඇත.

ලොව පුරා පැතිර යන මෙම වයිරසය තත්වය නිසාවෙන් මෙරට පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙල ද දින නියමකින් තොරව කල් දැමීමට සිදු වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ නිවේදනයන්ට අනුව එම ක්‍රීඩා උළෙල මෙම වසරේ අවසානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<