අකිලගේ නව ඉරියව්වට ICC අනුමැතිය

1279

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය වෙත පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (8) තීරණය කර ඇත. ඒ අකිල දනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව් නීත්‍යනුකූල බවට පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන නිසාවෙනි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 2019 වසරේ අග භාගයේ දී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර අකිලගේ පන්දු යැවීම නීත්‍යනුකූල නොවන බවට පිටියේ විනිසුරුවරුන් විසින් ICC වෙත දැනුම් දෙනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදා ය.

අනතුරුව 2019 සැප්තැම්බර් මාසයේ සිට වසරක කාලයක් සඳහා අකිල දනංජයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම පනවා තිබුණු අතර එම තහනම අවසන් වීමෙන් පසුව 2020 දෙසැම්බර් මස 22 වැනිදා ඔහු සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පෙන්වීම සඳහා වූ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය.

>> Video – අකිල දනංජයගේ අලුත් ඉරියව්වෙන් කඩුලු 3ක් <<

චෙන්නායි හි පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය දී එම පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව පරීක්ෂණය පැවති අතර එහි ප්‍රතිඵල සලකා බලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ තීරණය සඳහා පැමිණ තිබේ.

මේ වන විට සම්මත වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති හා රෙගුලාසිවලට අනුව ඕනෑම දඟපන්දු යවන්නෙක් හට ඔහුගේ අත අංශක 15කට ගෙන ඒමට අවස්ථාව දෙන නමුත්, අකිලගේ පැරණි ඉරියව්ව සඳහා පැවති පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඔහුගේ අත අංශක 20ක් දක්වා යන බවයි. ඒත් සමඟින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් ක්‍රිකට් පිටියේ දී නීත්‍යනුකූල නොවන බව තහවුරු විය.

තවත් ක්‍රිකට් පුවත්

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 64කට ක්‍රීඩා කර ඇති අකිල දනංජය එම තරගවල දී දවා ගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 106ක්. ඔහුගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් (2013) හා මුම්බායි ඉන්දියන්ස් (2018)  කණ්ඩායම් නියෝජනය කිරීමට ද අකිලට අවස්ථාව හිමි විය.

එසේම අකිලගේ නව පන්දු යැවීමේ ඉරියව්ව සඳහා කිසිවෙකුගේ විරෝධයක් එල්ල නොවුණු නිසාවෙන් නිමාවූ දේශීය ක්‍රිකට් පළමු පෙළ තරගාවලිය සඳහා මෙන්ම LPL තරගාවලිය සඳහා ද ක්‍රීඩා කිරීමට අකිලට වරම් ලැබුණි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<