ශ්‍රී ලංකා සත් සාමාජික නායකත්වය අදීෂට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2021

231

ආදි ඉසිපතන විද්‍යාලයීය රග්බි ක්‍රීඩක සහ වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි සංචිතයේ flanker ක්‍රීඩකයෙකු වන 23 හැවිරිදි අදීෂ වීරතුංග හට ජාතික යොවුන් සත් සාමාජික රග්බි සංචිතයේ නායකත්වය හිමිව තිබෙනවා.

2018 වසරේ දී ජාතික සංචිතයේ වරම් ලද ඔහුට, නොවැම්බර් 19 සහ 20 දිනවල ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Dialog Axiata ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් සත් සාමාජික සංචිතය මෙහෙය වීමේ වගකීම හිමිවනවා.

පසුගිය ඔක්තෝබර් 30 සහ 31 දිනවල පැවති Warrior 7s ආරාධිත රග්බි ශූරතාවයේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතරින් ජාතික තේරීම් කමිටුව විසින් තෝරා ගත් 20 දෙනෙකුගේ සංචිතයකින් මෙම 12 දෙනා තෝරාගෙන තිබෙනවා.

Warrior 7s තරගාවලිය සඳහා ප්‍රබල මහනුවර සහ CR&FC කණ්ඩායම් සහභාගී නොවුනු අතර එම කණ්ඩායම් හි කිසිදු සාමාජිකයෙකුට මෙම සංචිතය සඳහා වරම් හිමිව නැහැ.

සංචිතය මේ වන විට සුගතදාස හෝටලය තුල නිර්මාණය කර ඇති ජෛව ආරක්ෂිත පරිසරයක පුහුණුවීම් කටයුතුවල නියැලෙන්නේ ප්‍රධාන පුහුණුකරු Nilufer Ibrahim සහ කෙටිකාලීන ලෙස ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සත් සාමාජික රග්බි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එංගලන්ත ජාතික Ben Gollinsගේ අධීක්ෂණය යටතේයි.

නම් කරන ලද 12 දෙනෙකුගෙන් යුත් යෝජිත සංචිතය සඳහා ප්‍රථම වරට ජාතික සත් සාමාජික වරම් දිනා ගත් ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇතුළත්.

Warrior 7s තරගාවලියේ වීරයා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළ කිංග්ස්වුඩ් ක්‍රීඩක නුවන් පෙරේරා හට සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙන අතර ඔහුට අමතරව ගුවන් හමුදාව වෙනුවෙන් Warrior 7s හි දක්ෂතා දැක්වූ ඉෂාර මදුෂාන් ද ජාතික සංචිතය සඳහා වරම් දිනා ගෙන තිබෙනවා.

නිමා වුන Warrior 7s හි සුපිරි දක්ෂතා දැක්වූ හිටපු වෙස්ලි විද්‍යාලයීය රග්බි නායක සහ CH&FC ක්‍රීඩක Samuel Ogbebor සහ ඔහුගේ CH&FC කණ්ඩායම් සගයෙකු වන හිටපු ඉසිපතන ක්‍රීඩක කුෂාන් ඉඳුනිල් ද ප්‍රථම වරට ජාතික සත් සාමාජික රග්බි සංචිතයට වරම් දිනා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සත් සාමාජික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන Ben Gollins විසින් ආසියා සත් සාමාජික තරගාවලි සඳහා තෝරා ගත් සංචිතය පිළිබඳව අදහස් දක්වමින්  ThePapare.com වෙත පවසා සිටියේ, සංචිතය සඳහා ඉතාමත් තරගකාරී ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙන බවත්, ඔවුන් සියලුම දෙනා තරගාවලියේ දී හොඳින් දක්ෂතා දක්වමින් සාර්ථකව තරගාවලි නිමා කරන්නට අපේක්ෂාවෙන් සිටිනා බවත්ය.

“මම හිතනවා ක්‍රීඩකයින්ට මේක ඉතාමත් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. ඔවුන් නිමා වූ තරගාවලියේ දී වගේම පුහුණුවීම් අතරතුර දීත් ඉතාමත් හොඳින් දක්ෂතා දැක්වූවා. ඉතිං අබුඩාබිවල දී ශ්‍රි ලංකාව නියෝජනය කරලා, ඒ දස්කම්වලට හොඳ වටිනාකමක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක් මේ ක්‍රීඩකයින්ට. ඔවුන් ඉතාමත් හොඳ කණ්ඩායමක් වගේම ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමත් විශිෂ්ටයි, ඔවුන් හොඳින් ඇහුම්කන් දෙනවා වගේම කණ්ඩායමක් ලෙස එකතු වෙලා ඔවුන්ට ජයග්‍රහණය කරන්න උවමනාවක් තිබෙනවා”, යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

කණ්ඩායමේ අපේක්ෂාවන් පිළිබඳව විමසීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ, තරගාවලිය ගැන කරදර වෙනවාට වඩා ක්‍රීඩකයින්ගේ හැකියාවන් සහ දක්ෂතා පිළිබඳව අවධානය යොමුකිරීම වටිනා බවයි.

“අපිට අපි ගැන හොඳින් අවධානය යොමු කරන්න වනවා, එහෙම කළොත් අපිට පුළුවන් හොඳ තැනකට එන්න. ප්‍රතිවාදීන් සහ ඔවුන්ගේ දක්ෂතා ගැන නොදන්න බොහෝ දෑ තිබෙනවා. ප්‍රතිවාදීන්ටත් ශ්‍රී ලංකාව ගැන එහෙමමයි. කොරෝනා වසංගතය කණ්ඩායම්වලට ලොකු බලපෑමක් කරලා තියෙනවා. අපේ අරමුණ තමයි තරගාවලියට හොඳින් අවධානය යොමු කරලා හොඳ සටනක් දෙන එක. ක්‍රීඩකයින් හැම කෙනෙක්ම ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළොත් අපිට හොඳ වෙනස් කරන්න පුළුවන් වේවි,“ යැයි ඔහු පැවසුවා.

ආසියා සත් සාමාජික තරගාවලිය සඳහා යෝජිත ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය:

  1. අදීෂ වීරතුංග (නායක)
  2. කාංචන රාමනායක
  3. නිෂෝන් පෙරේරා
  4. සචිත් සිල්වා
  5. ඉරෝෂන් සිල්වා
  6. සුදාරක දික්කුබුර
  7. ජනිදු ඩිල්ෂාන්
  8. Samuel Ogbebor
  9. කුෂාන් ඉඳුනිල්
  10. අංජුල හෙට්ටිආරච්චි
  11. ඉෂාර මදුෂාන්
  12. නුවන් පෙරේරා

ආසියා සත් සාමාජික තරගාවලිය සඳහා තේරීම් කමිටුව විසින් කාන්තා රග්බි සංචිතයක් ද තෝරාගෙන ඇති අතර මෙම සංචිත දෙකම ක්‍රීඩා ඇමතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් තෝරාගත් මූලික සංචිතයක් නේවාසික පුහුණු වැඩසටහනකට යොමු කිරීමෙන් පසුව පැවති අන්තර් සංචිත තරගවලින් දක්ෂතා දැක්වූ 20 දෙනෙකු තේරිම් කමිටුව විසින් මෙම සංචිතය සඳහා සලකා බලා තිබෙනවා.

මෙම තෝරාගැනීම නිසාවෙන් අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට මෙම සංචිතය සඳහා වරම් හිමි වී නොමැති අතර දුලානි පොලේවගේ හට ප්‍රථම වරට ජාතික සංචිතයේ වරම් හිමිව තිබෙනවා

  1. නිමේෂා විජේවර්ධන
  2. දිලිනි කාංචනා
  3. නිපුනි රසාංජලී
  4. දුලානි පල්ලෙකොන්දගේ (නායිකාව)
  5. ජයන්ති කුමාරි දිල්රුක්ෂි
  6. උමයංගනා තත්සරණි
  7. තීක්ෂණා ලියනගේ
  8. අනුෂා සමරවීර
  9. දිනේෂිකා මුණසිංහ
  10. අයේෂා පෙරේරා
  11. ඩිලානි පොල්හේවගේ *
  12. අනූෂා අත්තනායක (යෝග්‍යතාවය මත)

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<