මෙරට රග්බි ක්‍රීඩාවේ අමරණීය මිනිසා දිවි ගමනින් සමුගනි

998
chandrishan Perera passed away

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් ඉටු කරමින් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැප වී කටයුතු කළ අසහාය ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු සහ පරිපාලකයෙකු වූ ක්‍රීඩා භූෂණ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අද (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 62 වැනි වියේ පසු වූ ඔහු කලක පටන් රෝගාතුරව සිටි අතර අද සවස මීගමුව පිහිටි රෝහලක දී ඔහු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කුඩා කල සිට එංගලන්තයේ දී හැදිවැඩී ක්‍රීඩා කටයුතුවල නියැලුණු චන්ද්‍රිෂාන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු CCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළා.

පසුව CH&FC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රග්බි ක්‍රීඩකයෙකු ලෙස ඔහු තරග බිමට පිවිසියා. ඉන්පසුව දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය ද නියෝජනය කළා.

සිය සත් සාමාජික දක්ෂතා විදහා දක්වමින් 1984 වර්ෂයේ දී පැවති හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවට බඳුන ශූරතාවය දිනා දෙන්නට ඔහු විශාල මෙහෙවරක් ඉටු කළා.

එමෙන්ම ඩුබායි සත් සාමාජික රග්බි තරගාවලියේ දී දක්ෂතම රග්බි ක්‍රීඩකයා ලෙස ද ඔහු සම්මානයට පාත්‍ර වුනා.

96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළේ කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් නොවූ අවස්ථාවකයි.

අවසන් වරට ජාතික කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි සංචිතය ආසියාවේ 5 වැනි ස්ථානය දක්වා රැගෙන එන්නට සමත් වුනා.

මෙරට රග්බි ක්‍රීඩාවට ක්‍රීඩකයෙකු ලෙසත්, පුහුණුකරුවෙකු ලෙසත්, පරිපාලකයෙකු ලෙසත්, විචාරකයෙකු ලෙසත් දශක 4ක් පුරාවට සිදු කළ සේවය අගයමින් 2019 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ දී ඔහු ක්‍රීඩා භූෂණ සම්මානයෙන් ද ඇගයීමට පාත්‍ර වුනා.

ක්‍රීඩා පිටියට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් කටයුතු කරමින් මෙරට රග්බි ක්‍රීඩාවට විශාල මෙහෙවරක් ඉටු කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ පවුලේ සියලු දෙනාට ThePapare.com අපගේ සහ සමස්ත ලක්වාසීන්ගේම සාතිශ්‍ය සංවේගය ප්‍රකාශ කරන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<