මෙරට රග්බි ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උපදේශක කමිටුවක්

182

ශ්‍රි ලංකා රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අට දෙනෙකුගෙන් සමන්විත රග්බි උපදේශක කමිටුවක් තෝරාපත් කර තිබෙනවා.

මෙම උපදේශක කමිටුව, අරවින්ද ද සිල්වා මහතා විසින් හොඹවන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවට සමාන කාර්යයන්ගෙන් සමන්විත වන කමිටුවකි.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ (SLRFU) හිටපු සභාපති සහ ආසියා රග්බි තරගාවලි කමිටුවේ වත්මන් සභාපති වන අසංග සෙනෙවිරත්න මහතා විසින් උපදේශන කමිටුවේ මුලසුන හොඹවනවා.

Rizly Ilyas, Hafeez Marso, ඩිල්රෝයි ප්‍රනාන්දු, වින්ග් කමාන්ඩර් එරංග ගීගනගේ, රියර් අද්මිරාල් A.S.L. ගමගේ, උදානි එදිරිසිංහ සහ වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්ම මහත්මීන් කමිටුවට අන්තර්ගත සෙසු සාමාජිකයින් වනවා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන 8 දෙනෙකුගෙන් සමන්විත මෙම උපදේශන කමිටුව විසින් ශ්‍රි ලංකා රග්බි සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සමඟ එකතු වී රග්බි ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කිරීමට සැලසුම් සකස් කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය හමුවේ අධි-අවදානම් ක්‍රීඩාවක් ලෙස ලැයිස්තුගත කර තිබුණු රග්බි ක්‍රීඩාව දිගු කලකට පසුව නැවත ජීවය ලැබුවේ පසුගිය දා නිමා වූ Warrior 7s ආරාධිත රග්බි තරගාවලියත් සමඟිනුයි. එම තරගාවලිය ඉකුත් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පැවැත්වුණේ කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දීයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<