IPL නිසා එංගලන්ත ක්‍රීඩකයින්ට ටෙස්ට් තරගාවලියක් මඟහැරෙයි?

356
England players

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින් වන Ben Stokes, Jofra Archer හා Jos Buttler හට නවසීලන්තය සමඟ ජුනි මාසයේ දී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අහිමි වනු ඇතැයි වාර්තා වෙනවා. ඒ මේ වසරේ IPL තරගාවලියේ අවසන් මහා තරග එම කාලසීමාවේ දී ම පැවැත්වීමට සැලසුම් කර ඇති නිසයි.  

Ben Stokes, Jofra Archer හා Jos Buttler යන තිදෙනාම Rajasthan Royals කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔවුන් තිදෙනාම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින්. සිය කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසුණුහොත් Chris Woakes (Delhi Capitals), Sam Curran (Chennai Super Kings) හා Jonny Bairstow (Sunrisers Hyderabad) හටත් ටෙස්ට් තරගාවලිය අහිමි වීමට ඉඩ තිබෙනවා.

Mark Wood ද IPL ක්‍රීඩක වෙන්දේසියට එළඹෙන බ්‍රහස්පතින්දා ඉදිරිපත් වන අතර ඔහු කණ්ඩායමකට තෝරා ගැනුණහොත් ඔහුට ද ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම ගැටලුවක් වීමට ඉඩ තිබෙනවා. Royal Challengers Bangalore කණ්ඩායමෙන් නිදහස් කළ Moeen Ali ද මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා.

මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරන්නට තවමත් ක්‍රීඩාංගණ හෝ දින නියම කර නැතත් තරගාවලිය එළඹෙන අප්‍රේල් 10 සිට ජුනි පළමු සතිය දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට ඉඩකඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්තය හා නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජුනි 2 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය ජුනි 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් නොවන අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට දින නියමව ඇත්තේ ජුනි මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වයි.

පසුගිය බ්‍රහස්පතින්දා IPL සංවිධායකයින් සියලුම කණ්ඩායම්වලට email පණිවිඩයකින් වෙන්දේසියට එක්වන ක්‍රීඩකයින් පිළිබඳ විස්තර දන්වා තිබුණා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්ත හා එංගලන්ත ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සම්පුර්ණයෙන් එක්වන බව ඉන් දන්වා තිබුණා.

“එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව එංගලන්තය හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයට IPL අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසුණු යම් IPL කණ්ඩායමක ක්‍රීඩකයෙක් තෝරා ගතහොත් එම ක්‍රීඩකයා අදාළ කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා නොකරන්නේ නම් එම ක්‍රීඩකයාට ටෙස්ට් තරගය සඳහා සහභාගී වන හැකි ලෙස ඔහුව කලින් නිදහස් කළ යුතුයි” IPL සංවිධායකයින් යොමු කළ email පණිවිඩයේ සඳහන් කර තිබුණා.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ සීමිත පන්දුවාර දක්ෂතාවලට IPL තරගාවලිය ද හේතුවක් වන බැවින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලියේ කෙරෙහි ඉතා සුභවාදී ආකල්පයක් දක්වනවා.

මේ දක්වා එංගලන්තයේ කිසිදු කොන්ත්‍රාත්තුගත ක්‍රීඩකයෙක්ට IPL තරගාවලියක් නිසා ටෙස්ට් තරගාවලියක් මඟහැරී නැහැ. කෙසේ වෙතත් මේ වසර මුලදී පැවැත්වුණු ශ්‍රී ලංකා තරගාවලියේ හා මේ වන විට පැවැත්වෙන ඉන්දියානු සංචාරයේ දී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් විවේක ගැන්වීමේ හා ක්‍රීඩකයින් මාරු කරමින් ක්‍රීඩා කිරීමේ නව වැඩ පිළිවෙළක් අනුගමනය කළා. මේ වසරේ අවසානයේ දී විස්සයි විස්ස ලෝක කුසලානය ද ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Stokes හා Archer දෙදෙනාම ශ්‍රී ලංකා සංචාරයට සහභාගි නොවුණු අතර Bairstow, Curran හා Wood ඉන්දියානු සංචාරයේ දී විවේක ගන්වා තිබුණා.

මේ අතර එළඹෙන අප්‍රේල් මාසයේ දී ක්‍රියාත්මක වන පාකිස්තානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය නිසා දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ටත් IPL තරගාවලියේ මුල් කොටස අහිමි වන්නට ඉඩ ඇති බව වාර්තා වෙනවා. බංගලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලත් තවමත් ඔවුන්ගේ තරග කාලසටහන් ස්ථිරව නිවේදනය කර නැති නිසා එම රටවලින් සහභාගී වන ක්‍රීඩකයින්ට ද සම්පූර්ණ IPL තරගාවලිය ක්‍රීඩා කරන්නට නොහැකි වීමට ඉඩ කඩ පවතිනවා.

Cricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<