සියවස් අර්ධ මැරතන් තරගය සති අන්තයේ

150

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති වැඩසටහන්වලට සමගාමීව සංවිධානය කරන අර්ධ මැරතන් තරගය හෙට (22) පැවැත්වීමට නියමිතයි.

කිලෝමීටර් 21කින් සමන්විත මෙම මැරතන් තරගය හෙට (22) උදෑසන දියත උයන අසලින් ආරම්භ වීමට නියමිත අතර වයස අවුරුදු 18ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙයට සහභාගී වීමට හැක.

එමෙන්ම මෙම මැරතන් තරගය සඳහා සහභාගි වීමට දකුණු ආසියානු රටවලට මලල ක්‍රීඩා සංගමය විසින් සිදු කළ ආරාධනාවකට අනුව ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇති බව මලල ක්‍රීඩා සංගමය සඳහන් කර සිටියා.

මෙම තරගය ජයග්‍රහණය කරන ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද දෙවැනි ස්ථානය සඳහා රුපියල් එක් ලක්ෂ පනස්දහසක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක්, සිව්වැනි ස්ථානය සඳහා රුපියල් හැත්තෑ පන්දහසක් සහ පස්වැනි ස්ථානයට රුපියල් පනස්දහසක් ලබා දීමට නියමිතව ඇත.

මෙම තරගයට සමගාමීව සවස් වරුවේ කිලෝමීටර් 5ක දුරකින් යුත් සෞඛ්‍ය ධාවන තරගයක් පැවැත්වීමට ද සූදානම් කර ඇති අතර එය ද දියත උයන අසලින් ආරම්භ වී නැවත දියත උයන අසලින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගය මලල ක්‍රීඩා සංගමයේ සියවැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන පළමු ක්‍රීඩා ඉසව්ව වන අතර මෙම වසරේ එයට සමගාමීව ඉසව් රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව මලල ක්‍රීඩා සංගමය මීට පෙර සඳහන් කර තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<