පුහුණුකරු මාරුවේ අලුත්ම මාරුව

7754

බංග්ලාදේශය තම ක්‍රිකට් පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙකු වන රසල් ඩොමින්ගෝ පත්කර තිබෙනවා. ඒ වසර දෙකක ගිවිසුමක් ද සමඟින්. 

ඩොමින්ගෝ මෙම තනතුරේ වැඩ බාර ගැනීම සඳහා අගෝස්තු මස 21 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතය. මේ පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද (17) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. ඩොමින්ගෝට පෙර බංග්ලාදේශ පුහුණුකරු ලෙස ස්ටීව් රොඩ්ස් කටයුතු කළ අතර 2019 ලෝක කුසලානයේ බංග්ලාදේශ බලාපොරොත්තු සුන්වීමත් සමඟින් නව පුහුණුකරුවෙකු සඳහා ක්‍රිකට් ආයතනය යොමුව තිබුණි. 

සුපුරුදු පුහුණුකරු නැවතත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුරට

ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රවී ශාස්ත්‍රි නැවත වතාවක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ….

රසල් ඩොමින්ගෝ 44 වියැති වන අතර ඔහු ජාත්‍යන්තර හෝ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර නැතත් මුල් අවධියේ සිටම පුහුණුකරු ලෙස කටයුතු කරමින් පළපුරුද්දක් ලබා ඇත. දකුණු අප්‍රිකානු 19න් පහළ හා ජ්‍යේෂ්ඨ කණ්ඩායම්වල පුහුණුකාරීත්වය දරා ඇති ඩොමින්ගෝ 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. 

2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ද දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූයේ ඩොමින්ගෝගේ පුහුණුකාරීත්වය යටතේය. ඉන් අනතුරුව ඩොමින්ගෝ පළමු පෙළ කණ්ඩායමක් වන දකුණු අප්‍රිකානු වොරියර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ද ඔවුන් මෙහෙයවීමට සමත්විය. 

“අපි ඔහුගේ පුහුණුකාරීත්වය පිළිබඳව ගොඩක් සතුටට පත්වෙනවා.” බංග්ලාදේශය ක්‍රිකට් ආයතන සභාපති නස්මුල් හසන් පවසා සිටියා. “ඔහුට හොඳ අවබෝධයක් තියනවා කණ්ඩායම ගොඩනැගීමට කළ යුතු දේවල් ගැන.” 

තමන්ගේ නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් ඩොමින්ගෝ පවසා සිටියේ මෙම අවස්ථාව ඔහුට මහත් ගෞරවයක් බවයි. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ගොඩනැගීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මනා සැලැස්මක් තමන් සතු බව ද පවසා සිටියා. 

“මේක මට ලොකු ගෞරවයක් බංග්ලාදේශය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම” 

ඩොමින්ගෝ පවසා සිටියේ තම ප්‍රධානතම අරමුණ බංග්ලාදේශයේ නව ක්‍රීඩක පරපුර ගොඩනැගීම බවයි. 

“මම බංග්ලාදේශයේ ක්‍රිකට් වල ඇතිවූ දියුණුව ලොකු උවමනාවකින් බලාගෙන සිටියා. මම ගොඩක් සතුටු වෙනවා මට මේ අවස්ථාව ලැබීම පිළිබඳව. ඔවුන්ට ළඟා කර ගත හැකි ඉලක්කවලට යාමට මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.” 

කොල්කටා කණ්ඩායමට නව පුහුණුකරුවෙක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් මැකලම් පත්ව ඇත.

“මම බලාපොරොත්තු වෙනවා වර්තමාන ක්‍රීඩකයන්ගේ දියුණුව ගැන වගේම නව ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනා ගෙන ඔවුන්ව දියුණු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.”

ඒ අනුව ඩොමින්ගෝ එරට වර්තමාන පිතිකරණ පුහුණුකරු වන නීල් මැකෙන්සි හා පන්දු ‍යවන පුහුණුකරු වන චාර්ල් ලැන්ග්වෙල්ඩ්ට් සමඟ කටයුතු කිරීමට නියමිතය. පසුගිය ශ්‍රි ලංකා තරග සංචාරයෙන් අනතුරුව ඔවුන්ගේ ගිවිසුම් දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය ගෙන ඇත. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සඳහා දඟ පන්දු පුහුණුකරු ලෙස නවසීලන්ත ඩැනියල් විටෝරි එක් කරගැනීම බංග්ලාදේශය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කර ඇත. 

රසල් ඩොමින්ගෝ දකුණු අප්‍රිකානු පුහුණුකරු ලෙස කටයුතු කළ 2013 – 2017 කාලයේ දී ඩොමින්ගෝගේ සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කළේ ද මැකෙන්සි හා චාර්ල් වීම විශේෂත්වයකි. 

රසල් ඩොමින්ගෝ යටතේ බංග්ලාදේශය මුහුණ දෙන පළමු තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 5 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය වනු ඇත. එම තරගයෙන් අනතුරුව බංග්ලාදේශය ඇෆ්ගනිස්තානය හා සිම්බාබ්වේ සමඟින් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<