2024 BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 11ක්

BPL 2024

9045

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට ඊයේ (24) හිමි වුනා.

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 2024 BPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හතේ පුරප්පාඩු පුරවා ගැනීම සඳහා ඊයේ බංග්ලාදේශයේ ඩකා හිදි BPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහි දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ප්‍රමුඛ ක්‍රීඩකයින් හය දෙනෙකු වෙන්දේසි වුනා.

ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී මිලට ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්;

  • Durdanto Dhaka: ලහිරු සමරකෝන්, සදීර සමරවික්‍රම
  • Khulna Tigers: කසුන් රාජිත, දසුන් ශානක
  •  Fortune Barishal: දිනේශ් චන්දිමාල්
  • Sylhet Strikers: දුශාන් හේමන්ත

මීට අමතරව Richard Ngarava, Curtis Campher, Rahkeem Cornwall වැනි විදෙස් ක්‍රීඩකයින් ද ඊයේ වෙන්දේසියේ දී ඉහළ වටිනාකම් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම මෙම වෙන්දේසියේ දී වැඩිම අවධානයක් යොමු වනු ඇති බව අපේක්ෂා කළ බංග්ලාදේශ සුපිරි පිතිකරු Mushfiqur Rahimව Fortune Barishal කණ්ඩායම මගින් මිල දී ගත්තා.

මේ අනුව එළඹෙන BPL තරගාවලිය වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට පෙර Direct Signing අවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක දෙපළක් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ක්‍රීඩකයින් පස් දෙනෙකු කණ්ඩායම් වලට එක් කර ගත්තා.

Direct Signing අවස්ථාව යටතේ කණ්ඩායම් වලට එක් වූ ශ්‍රී ලාංකිකයින්;

  • Durdanto Dhaka: චතුරංග ද සිල්වා
  • Khulna Tigers: ධනංජය ද සිල්වා
  • Rangpur Riders: මතීෂ පතිරණ, වනිඳු හසරංග
  • Fortune Barishal: දුනිත් වෙල්ලාලගේ

මීට අමතරව Direct Signing අවස්ථාව යටතේ විදෙස් ක්‍රීඩකයින් ලෙස Rashid Khan, Andrew Russell, Noor Ahmad, Saim Ayub, Evin Lewis, Mohammed Amir වැනි ලෝ පතල විස්සයි විස්ස තරු රැසක් ද තම කණ්ඩායම් සමඟ සම්බන්ධ කර ගැනීමට ඔවුන් පියවර ගත්තා.

නමුත් ලබන වසරේ BPL තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළ PSL, ILT20, SA20 වැනි තවත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත නිසා මෙම ක්‍රීඩකයින් සියල්ලක් ම 2024 BPL හරහා දැක බලා ගැනීමට ලැබේවි ද යන්න නම් සැක සහිතයි.

එමෙන්ම එම හේතුව නිසාම මින් පසුවත් මෙම කණ්ඩායම් විසින් වෙනත් විදෙස් ක්‍රීඩකයින් ආදේශ කර ගැනීමට පෙලඹෙනු ඇති බවත් අනුමාන කළ හැකි.

2024 BPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<