ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (23) සමත් වුණා.
ඔවුන් වෙතින් අද පරාජයට පත් වෙන්නේ B කාණ්ඩයෙන් තරගාවලියට එක් වී පළමු වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනියා වූ පාකිස්තාන කණ්ඩායමයි.
>>ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නෙදර්ලන්තයත් පරාජය කරයි<<
Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගන්නවා.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවන් තරගය අවසන් වෙද්දී ලබා ගන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණයි. ඒ අනුව තියුණු අවසානයකින් යුත් මෙම තරගයෙන් ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි, සත්‍යා සංදීපනී, සුගන්දිකා කුමාරි සහ මල්කි මදාරා.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Muneeba Ali (නායිකාව සහ කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Gull Feroza, Omaima Sohail, Ayesha Zafar, Eyman Fatima, Tuba Hassan, Nashra Sandhu, Umm-e-Hani, Tasmia Rubab සහ Momina Riasat.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ සංජනා කාවින්දි පළමු කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සංජනා කාවින්දි පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16කට දැවී යෑමත් සමඟිනුයි.
නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 8ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ලට දැවී යනවා. විශ්මි ගුණරත්න අද තරගයේ දී ද ලකුණු අතරට පිවිසීමට සමත් වෙන අතර ඇය 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඔවුන්ගේ දැවී යෑම්වලින් අනතුරු ව ඉමේෂා දුලානි පසු පෙළ පිතිකාරියන් ද එක් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගූ අතර ඇය ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකයයි.
ඇයත් සමඟින් පිටියේ සක්‍රීය වූ නිලක්ෂිකා සිල්වා පන්දු 15ක දී ලකුණු 13කට ද, හසිනි පෙරේරා පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 9කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී කවීෂා දිල්හාරි පන්දු 5ක දී නොදැවී ලකුණු 4ක් ද සහ රශ්මිකා සෙව්වන්දි පන්දු 3ක දී නොදැවී ලකුණක් ද ලබා ගනිමින් පිටියේ රැදී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Umm-e-Hani ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Tuba Hassan සහ Nashra Sandhu කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- විශ්මි විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කරයි
- ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයත් පරාජය කරයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ පහසුවෙන් ම ඇෆ්ගනිස්තානය පරාජය කරයි
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 29ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා.
එහෙත් සිව් වැනි කඩුල්ලට Omaima Sohail සහ Eyman Fatima (10) එක් ව පන්දු 36ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා. Omaima Sohail ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් ඉනිමෙ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙනවා. ඇයට අමතර ව Tuba Hassan පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.
පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී Tasmia Rubab පන්දු 11ක දී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියා. ඇය අවසන් කඩුල්ල සඳහා Momina Riasat (නොදැවී 2) හා එක් ව පන්දු 11ක දී නොදැවුණ ලකුණු 17ක් එක් කරනවා. ඉන් ලකුණු 15ක් ම එක් කර ගන්නේ තරගයේ අවසන් පන්දුවාරයේදීයි. ඒ ජයග්‍රහණය සඳහා එම පන්දු වාරයේ දී ලකුණු 20ක් අවශ්‍ය ව තිබියදීයි.
කඩුලු දවා ගැනීමේ දී සත්‍යා සංදීපනී ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව සුගන්දිකා කුමාරි ලකුණු 17කට කඩුලු 2ක් ද, නිලක්ෂිකා සිල්වා සහ මල්කි මදාරා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 140 (20.0) විශ්මි ගුණරත්න 30, ඉමේෂා දුලානි 56, Umm-e-Hani3/17
- පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 136 (20.0)Omaima Sohail36, Tuba Hassan 24, Tasmia Rubab නොදැවී 23, සුගන්දිකා කුමාරි 2/17, සත්‍යා සංදීපනී 3/29
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 4ක ජයක්.
තරගයේ වීරයා – ඉමේෂා දුලානි (ශ්‍රී ලංකාව)
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකාව එළැඹෙන 25 වැනිදා අයර්ලන්තය සමඟින් Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්වීමට නියමිතයි.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.






















