NCC සහ කෝල්ට්ස් විස්සයි විස්ස සම ශූරතාවය දිනයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

1549
අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ අන්තර් සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (11) කොළඹ NCC සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

කෙසේ නමුත් උදෑසන කාලයේ සිට ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා, කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස අභිසෙස් ගන්වමින් තරගාවලිය අවසන් වුනා.

ඒ අනුව NCC කණ්ඩායම අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සිය දෙවැනි ශූරතාවය දිනා ගත් අතර ඔවුන් මීට පෙර 2017/18 තරග වාරයේ දී එහි ශූරතාවය දිනා ගත්තා. එසේම නොකඩවා දෙවැනි වරටත් අවසන් මහා තරගයකට පැමිණි කෝල්ට්ස් කණ්ඩායම අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශුරතාවයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම ද කැපී පෙනුණා.

මූලික වටය යටතේ NCC කණ්ඩායම ‘A’ කාණ්ඩය යටතේ ද, කෝල්ට්ස් කණ්ඩායම ‘B’ කාණ්ඩය යටතේ ද තරග වැදුණු අතර එහි දී NCC අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසෙද්දී, කෝල්ට්ස් කණ්ඩායම සහභාගී වූ තරග 4න් 3ක් ජය ගෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඉකුත් 9 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් පූර්ව තරගවල දී NCC කණ්ඩායම මුවර්ස් ක්‍රීඩා සමාජය පරදවමින් ද, කෝල්ට්ස් කණ්ඩායම ACE කැපිටල් පරදවමින් ද අවසන් මහ තරග වරම උදා කරගත්තා.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස ඉනිම් 3ක දී ලකුණු 195ක් ලබා ගත් NCC ක්‍රීඩක උපුල් තරංග සම්මාන දිනා ගන්නා විට, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ලහිරු මදුශංක කඩුලු 10ක් දවාගෙන තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තා. එසේම මුවර්ස් කණ්ඩායමේ ලහිරු සමරකෝන් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රමුඛපෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය ජුනි 23 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<