වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැවත වතාවක් දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් වෙතින් පරාජයට පත් වෙන්නේ පෙර වසරේ ශූරයන් වූ පාකිස්තාන කණ්ඩායමයි.
ඉන්දියාව ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසාලනය අවස්ථා 9ක දී ඔවුන් සතු කරගෙන තිබෙනවා
ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයෙන් ඉවතට
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 337ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
ඉන්දීය හඹා ගිය පිළිතුරු ඉනිමේ ආරම්භ අතිශය සාර්ථක වූව ද තෙවැනි කඩුල්ලෙන් පසුව තත්ත්වය තරමක් ව්‍යාකූල වෙනවා. ඒ ඉන්දීය ඉනිමේ 5 වැනි සහ 6 වැනි කඩුලු ද්විත්වය ලකුණු 217දීත්, 7 වැනි කඩුල්ල ලකුණු 251දීත් සහ 8 වැනි කඩුල්ල ලකුණු 252දීත් දැවී යැමත් සමගිනුයි.
ඉනිමේ අවසන් පන්දුවාර 8 එළැඹෙත්දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 86ක් අවශ්‍ය වූවා. ඉතිරි ව තිබුණේ පන්දු 48ක් සහ කඩුලු ද්විත්වයක් පමණයි.
ඒ වෙද්දී පිටියට එක් ව සිටි Manal Chauhan සහ Mohit Ulva 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Manal Chauhan ගේ දැවී යැමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය අවසන් කඩුල්ලට පන්දු 16ක දී ලකුණු 30ක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට Mohit Ulva සහ Chigurupati Venkata සමත් වෙනවා. තරගයේ අවසන් පන්දු 6 දී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 9ක් අවශ්‍ය වූ අතර එම පන්දුවාරයේ පළමු පන්දු 5 දී සීමාව ඉක්මවා ගිය අතිරේක ලකුණක් ද සමඟින් ලබා සිටියේ ලකුණු 5ක් පමණයි.
ඒ අනුව තරගයේ අවසන් පන්දුවේ දී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් අවශ්‍ය වූ අතර එය හතරේ පහරකින් අවසන් කිරිමට Mohit Ulva සමත් වෙනවා. අංක 10 ස්ථානයෙන් පිටියට පිවිසි ඔහු තරගය එලෙසින් ජයග්‍රහණය කරා රැගෙන යද්දී පන්දු 26කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.
ඔහුත් සමඟින් අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි ඉන්දීය ඉනිමේ අවසන් පිතිකරු Chigurupati Venkata තරගය අවසන් වෙද්දී පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.
ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 106ක දී ලකුණු 95ක සබඳතාවක් එක් කිරිමට Lakshya Raichandani සහ Aaryavir Sehwag සමත් වුණා. එහි දී නායක Lakshya Raichandani පන්දු 101ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 80ක් ද සහ Aaryavir Sehwag පන්දු 61ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Rizwanullah ලකුණු 53කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Niqab Shafiq කඩුලු ද්විත්වයක් දවා ගත්තා.
- පළමු ටෙස්ට් තරගය විසඳුමක් නැතිව අවසන් වෙයි
- සඳරු මල්ශාන් ද්විත්ව ශතකයක් වාර්තා කරයි
- ශ්‍රී ලංකා යෞවනයෝ බංග්ලාදේශයට පරාජය වෙයි
- මහින්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- වාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනී
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Usman Khan. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා.
ඔහු 2 වැනි කඩුල්ලට Abdul Qadir සමඟ එක් වෙමින් පන්දු 113කට ලකුණු 135ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Abdul Qadir පන්දු 54ක දී හයේ පහර 8ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව නායක Farhan Yousaf පන්දු 60ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Kavya Paresh Patel ලකුණු 68කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Chigurupati Venkata ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 337 (50.0) Usman Khan 107, Hayam Khan 21, Abdul Qadir 80, Farhan Yousaf 63, Kavya Paresh Patel 4/68, Chigurupati Venkata 3/40
- ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 339 (50.0) Lakshya Raichandani 80, Aaryavir Sehwag 58, VK Vineeth 24, Manal Chauhan 47, Mohit Ulva නොදැවී 49, Rizwanullah 3/53, Niqab Shafiq 2/57
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.
- තරගයේ වීරයා – Mohit Ulva (ඉන්දියාව)
- තරගාවලියේ වීරයා – Aaryavir Sehwag (ඉන්දියාව)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















