ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තාන ක්රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා සිටියා.
Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් Arafat Minhas, Mohammad Taha, Saqib Khan සහ Tayyab Arif යන ක්රීඩකයන් සිව් දෙනා මංගල ටෙස්ට් වරම් දිනා ගනිද්දී ශ්රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් සිව් දෙනෙක් එක් කර තිබුණා.
>>පාකිස්තානය සංයුතිය වෙනස් කරමින් ටෙස්ට් තරගාවලියට සූදානම් වෙයි
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, අසිත ප්රනාන්දු, මිලාන් රත්නායක, ලහිරු කුමාර සහ ඩිල්ශාන් මදුශංක.
පාකිස්තාන කණ්ඩායම
Babar Azam (නායක), Azan Awais, Tayyab Arif, Mohammad Taha, Saud Shakeel, Salman Agha, Ghazi Ghori (කඩුලු රකින්නා), Arafat Minhas, Razaullah, Mohammad Abbas සහ Saqib Khan.
නායකත්වයේ කිරුළ දැරූ තම මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ඒ අනුව ඔහු විසින් කළ ආරාධනාව අනුව සත්කාරකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.
පාකිස්තාන ඉනිම ආරම්භ කළ Azan Awais සහ කෝඩුකාර Tayyab Arif පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 96ක දී ලකුණු 86ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ Azan Awais ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පාකිස්තාන ඉනිමට තවත් ලකුණු 4ක් පමණක් එක් වෙද්දී තම මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කළ Tayyab Arif දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.
- ශ්රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය
- පුහුණු තරගයේ ජය ශ්රී ලංකාවට
- හර්ෂිතාට පළමු වරට ශ්රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
- අවාසනාව මැදින් වාසනාව ගෙන ආ එංගලන්තයේ අංක එකේ ප්රහාරකයා – Harry Kane
- වාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනී
ඉන් අනතුරු ව කඩුල්ලට පන්දු 109ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කිරීමට තවත් කෝඩුකාරයෙක් වූ Mohammad Taha සහ නායක Babar Azam සමත් වෙනවා. පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටිය දී Babar Azam ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. එය Babar Azam ගේ ටෙස්ට් තරග දිවියේ 35 වැනි අර්ධ ශතකයයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Mohammad Taha සහ Saud Shakeel එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 122ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ තම මංගල තරගයේ දී ම මංගල අර්ධ ශතකය වාර්තා කළ Mohammad Taha ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව පාකිස්තාන ඉනිමේ දැවී ගිය 5 වැනි පිතිකරු බවට Salman Agha (16) පත් වෙනවා.
තරගය අයහපත් කාලගුණ තත්තවය මත පැවැති අඳුර හේතුවෙන් 1 වැනි දිනයට නතර කරන විට Saud Shakeel පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද සහ Ghazi Ghori පන්දු 10ක දී නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අසිත ප්රනාන්දු ලකුණු 64කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සොනාල් දිනූෂ, මිලාන් රත්නායක සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 281 (67.2)Azan Awais30, Tayyab Arif 57, Mohammad Taha 51, Babar Azam 50, Saud Shakeel නොදැවී 57, අසිත ප්රනාන්දු 2/64
මෙම තරගය හෙට (10) 2 වැනි දිනයටත් ක්රියාත්මක විමට නියමිතයි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















