පාකිස්තාන පොඩ්ඩෝ අවසන් තරගයත් ජය ගනී

Sri Lanka U17 tour of Pakistan 2026

5

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (24දා) පැවැති තරගාවලියේ 5 වැනි තරගය නිමා වෙන්නේ පාකිස්තාන කණ්ඩායමට ලකුණු 27ක ජයග්‍රහණයක් හිමි වෙමින්.   

පාකිස්තානු පොඩ්ඩෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 283ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 256ක් පමණයි.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරගය හා එක් වූ ශැනෝන් සිල්වා සහ චෙනුල් හතරසිංහ වෙනුවට චෙනුක දොඩංගොඩ සහ චෙනුල් මිල්නක එක් කර තිබුණා. පාකිස්තානය මෙම තරගයට එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදු නොකරමිනුයි.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම 

ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, චෙනුක දොඩංගොඩ, සශිත් බණ්ඩාර, රෙශෝන් සොලමන්ස්, සඳරු මල්ශාන්, චෙනුල් මිල්නක, රවීන් සචින්ත, තාරුක සමන්ජිත් සහ කලිඳු සචින්තන 

 

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම 

Azan Ahmed (නායක), Daud Tauqeer Rana, Hamza Abbas Baloch, Mohammad Yousaf, Sudais Ahmed, Hamid Raza, Ammar Khan, Mohammad Saim, Arsalan Hassan (කඩුලු රකින්නා), Abdullah Ahmed Butt සහ Fahad Iqbal. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දෙරට අතර පැවැති 2 වැනි එක්දින තරගයේ දී ද ශතකයක් වාර්තා කළ Mohammad Yousaf. ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නායක Azan Ahmed ද මෙම තරගයේදීත් අර්ධ ශතකයක් ලබා ගන්නවා. එය ඔහු මෙම තරගාවලියේ දී පිට පිට ලබා ගත් 3 වැනි අර්ධ ශතකයයි. ඔහු දැවී යන විට පන්දු 92ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 138ක් ලබා ගන්නවා.  

ඔවුන්ට අමතර ව Hamid Raza ද පන්දු 28ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී රවීන් සචින්ත සහ කලිඳු සචින්තන කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව චෙනුල් මිල්නක සහ සඳරු මල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටිටය පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ මැද පෙළින් පිටියට පිවිසි උප නායක සඳරු මල්ශාන්. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. එය ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි. 

ඔහු චෙනුල් මිල්නක හා එක් වෙමින් 7 වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ද ගොඩ නගනවා. චෙනුල් මිල්නක ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව යෙනුල හේවාවිතාරණ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ද, මෙතුක ගුණරත්න පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ චෙනුක දොඩංගොඩ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Mohammad Saim ලකුණු 30කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sudais Ahmed, Ammar Khan, Hamid Raza සහ Fahad Iqbal කඩුල්ල බැගින් ද දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 283 (50.0) Mohammad Yousaf 105, Azan Ahmed 91, Hamid Raza 30, කලිඳු සචින්තන 2/53, රවීන් සචින්ත 2/51
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 256 (50.0) මෙතුක ගුණරත්න 23, යෙනුල හේවාවිතාරණ 46, චෙනුක දොඩංගොඩ 22, සඳරු මල්ශාන් 56, චෙනුල් මිල්නක නොදැවී 40, Ammar Khan 2/30

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 27ක ජයක්.  

තරගයේ වීරයා – Mohammad Yousaf (පාකිස්තානය.)   

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<