ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී

Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

4

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (16) සමත් වුණා.  

ඒ බංග්ලාදේශය සමඟින් පැවැති අවසන් මහා තරගයේ දී ලකුණු 4ක ජයග්‍රහණක් ලබා ගනිමිනුයි.  

Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් පමණයි.  

ශ්‍රී ලංකා යෞවනියෝ 5 වැනි ජයත් ලබයි

මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමිනුයි. එහි දී නෙතඟි ඉසුරාංජලි, යෙසලි ජිතාරා  සහ සනුකි පතිරගේ අද තරගයට එක් කර නොගත් අතර ඒ වෙනුවට ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ එක් කර ගෙන තිබුණා.  

බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය හා එක් වෙන්නේ පෙර ශ්‍රී ලංකාව හා තරගයට එක් වූ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ  Farjana Easmin වෙනුවට Bibi Ayesha එක් කර ගෙන තිබුණා. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, නෙත්මි උපේක්ෂා, උමයංගනා පීරිස්, ශෂිනි ගිම්හානි, දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, අසේනි තලගුණේ, ලිමංසා තිලකරත්න සහ චමෝදි හේරත්. 

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

Sadia Islam (නායිකාව), Mymuna Nahar Shorna, Achena Jannat (කඩුලු රකින්නිය), Nishita Akter Nishi, Shirina Khatun, Sadia Akter, Farjana Easmin, Bibi Ayesha, Jannatul Ferdous, Afrin Mimi සහ Tithi Das. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරියයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.  

විමෝක්ෂා බාලසූරිය පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ඉන් අනතුරු ව කඩුල්ලේ දී ද ලකුණු 55ක සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් වෙනවා. ඊට පෙරමුණ ගන්නේ සංජනා කාවින්දි සහ නෙත්මි උපේක්ෂා යි. පන්දු 46කින් එක් වූ එම සබඳතාව බිඳී යන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා. ඇයගේ මෙම ඉනිම තරගාවලියේ වාර්තා කරනු ලැබූ 3 වැනි අර්ධ ශතකයයි. 

නෙත්මි උපේක්ෂා ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා. ඊට අමතර ව ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී උමයංගනා පීරිස් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ දනෝද්‍යා සෙව්මිණි පන්දු 11ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Farjana Easmin, Jannatul Ferdous, Afrin Mim සහ Nishita Akter Nishi කඩුල්ල බැගින් බෙදී ගියා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 21ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. එසේ වූවත් සිව් වැනි කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කිරීමට Nishita Akter Nishi සහ නායිකා Sadia Islam සමත් වෙනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Nishita Akter Nishi ගේ දැවී යෑමත් සමඟිනුයි. දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ ඇය ඉනිම හැර යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.  

Sadia Islam ඉන් පසු කඩුල්ලට දැවී යද්දී පන්දු 36ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.  

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර 4 දී ප්‍රබල ප්‍රහාරයකට ලක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට සිදු වූණා. 16 වැනි පන්දුවාරය අවසන් වෙද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලෙසින් දැක් වුණ අතර ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 24ක දී ලකුණු 48ක් අවශ්‍ය වූවා. නමුත් ඔවුන්ගේ ඉලක්කය ලකුණු 44කට සීමා වෙන්නේ කඩුලු ද්විත්වයක් ද අහිමි කර ගනිමිනුයි.  

එහි දී Sadia Akter ප්‍රහාරාත්මක ඉනිම නිරත වෙනවා. ඇය ජයග්‍රහණයට ලකුණු 9ක් මෙපිටින් සිටිය දී බංග්ලාදේශ බලාපොරොත්තු බිඳ දමමින් ඉනිමේ අවසන් පන්දුවට පෙර පන්දුවේ දී දැවී යනවා. ඒ වෙද්දී ඇය  පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී චමුදි ප්‍රබෝදා තම පන්දුවාර 4 ලකුණු 17කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව චමෝදි හේරත් ලකුණු 32කට කඩුලු 2ක් ද සහ දනෝද්‍යා සෙව්මිණි කඩුල්ලක් ද දවා ගන්නවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 158 (20.0) සංජනා කාවින්දි 64, විමෝක්ෂා බාලසූරිය 23, නෙත්මි උපේක්ෂා 22, උමයංගනා පීරිස් නොදැවී 28
  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 154 (20.0) Nishita Akter Nishi 32, Sadia Islam 59, Sadia Akter 35, චමෝදි හේරත් 2/32, චමුදි ප්‍රබෝදා 2/17

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 4ක ජයක්.  

  • තරගයේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව) 
  • තරගාවලියේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<