අසේනි තලගුණේ ගේ දක්ෂ පන්දු යැවීමට සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය එක් වීමත් සමඟින් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණය අද (5) වාර්තා කළා.
ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
>>චමුදිලා පාකිස්තානයට පරාජය වෙයි
Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කඩුලු 7ක් දැවී ලකුණු 119ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී තරගයේ අවසන් පන්දුවේ දී එම ඉලක්කය සපුරා ගන්නවා.
මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ කඩුලු රැකීමේ ක්‍රීඩිකා නෙතඟි ඉසුරාංජලී වෙනුවට දකුණතින් පිට දඟ පන්දු යවන චමෝදි හේරත් එක් කර ගනිමිනුයි. ඒ අනුව මෙම තරගයේ දී කඩුලු රැකීමේ අත් ආවරණ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි සතු වෙනවා.
බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය හා එක්වෙන්නේ පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින්.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), නෙත්මි උපේක්ෂා, විමෝක්ෂා බාලසූරිය, මනුදි නානායක්කාර, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි, ලිමංසා තිලකරත්න, චමෝදි හේරත් සහ අසේනි තලගුණේ.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Sadia Islam (නායිකාව), Mymuna Nahar Shorna, Ochena Jannat (කඩුලු රකින්නිය), Nishita Akter Nishi, Bibi Ayesha, Sadia Akter, Farjana Easmin, Sraboni Rani, Afrin Mim, Oddrita Nowshin සහ Tithi Das.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Sadia Islam. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Nishita Akter Nishi පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 26ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී අසේනි තලගුණේ තම පන්දුවාර 4 ලකුණු 12කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව චමෝදි හේරත් ද කඩුලු 2ක් ද, ප්‍රමුදි මෙත්සරා සහ දනෝද්‍යා සෙව්මිණි කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.
ඇය 2 වැනි කඩුල්ල වෙනුවෙන් විමෝක්ෂා බාලසූරිය සමඟ එක් වෙමින් ලකුණු 62ක සබඳතාවක් ද එක් කරනවා. විමෝක්ෂා බාලසූරිය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
ඊට අමතර ව මනුදි නානායක්කාර පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද සහ ඉනිම අවසන් වෙද්දී දනෝද්‍යා සෙව්මිණි පන්දු 11කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Nishita Akter Nishi ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Afrin Mim සහ Farjana Easmin කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශවයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– කඩුලු 7ක් දැවී 119 (20.0) Nishita Akter Nishi 26, Sadia Islam 39, චමෝදි හේරත් 2/20, අසේනි තලගුණේ 2/12
- ශ්‍රී ලංකාවයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– කඩුලු 6ක් දැවී 120 (20.0) සංජනා කාවින්දි 48, විමෝක්ෂා බාලසූරිය 21, Nishita Akter Nishi 2/26
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 3 වැනි තරගය නැවතත් බංග්ලාදේශය සමඟින් ඔක්තෝබර් 8 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















