දකුණු අප්‍රිකානුවන් දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!

World Test Championship Final 2025

69
World test championship

2025 වසර ලෝක ක්‍රීඩා කේෂ්ත්‍රයේ පෙරළි පිට පෙරළි සිදු වන වසරක් බව නැවත වරක් සනාථ කරමින් දකුණු අප්‍රිකාව විසින් ටෙස්ට් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට අද (14) සමත් වුනා.

2023-25 ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පසුගිය 11 වැනි දා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, මෙවර ශූරතාව වෙනුවෙන් ක්‍රිකට් ලොව වාසනාවන්තයා වන ඕස්ට්‍රේලියාව සහ ක්‍රිකට් ලොව අවාසනාවන්තයා වන දකුණු අප්‍රිකාව සටනට පිවිසුණා.

තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා. එහි දී ඔවුන් ලකුණු 212ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Beau Webster ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් වුනා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Kagiso Rabada කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට පිළිතුරු සැපයීම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා රැස් කිරීමට සමත් වුනේ ලකුණු 138ක් පමණයි. මෙහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් David Bedinghamගේ පිත්තෙන් ලකුණු 45ක් වාර්තා වුනා. දකුණු අප්‍රිකානු ඉනිම බිඳ දැමීම සඳහා නායකත්වයේ පන්දු යැවීමක නිරත වූ Pat Cummins ලකුණු 28කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක වටිනා වාසියක් ලබා ගනිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් ලකුණු 73කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ Mitchell Starc විසින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනේ ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 207ක් කරා රැගෙන යමිනුයි.

මේ අනුව දකුණු අප්‍රිකාවට තම සිහිනය හඹා යාම වෙනුවෙන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයක් හිමි වුනා. එය මෙම තරගයේ ලකුණු පුවරු දෙස බැලීමේ දී කිසි සේත් ම පහසු එකක් නොවන බව ද ඒ වන විටත් තහවුරු වී තිබුණා.

මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 70ක් තුළ දවා ගැනීමට Mitchell Starc සමත් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Aiden Markram සහ නායක Temba Bavuma ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහි දී Bavuma විසින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය ක්‍රිකට් දිවියේ වටිනාම ඉනිම දියත් කළ Aiden Markram විසින් ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු 207ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 14ක් අඩංගු වුනා.

තරගයේ පස් වැනි දිනය වූ අද (14) දිනයේ දී දකුණු අප්‍රිකාව දශක ගණනක් තිස්සේ බලා සිටි මොහොත උදා වූ අතර, ඔවුන් කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය Aiden Markram හට හිමි වුනා.

මෙම වසර ක්‍රීඩා ලොව වඩාත් පුදුම සහගත දෑ සිදු වූ, විශාල ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් දශක ගණන් බලා සිටි කණ්ඩායම්වලට ජයග්‍රහණය හිමි වූ වසරක් ලෙස මේ වන විටත් තහවුරු වී අවසන්. පාපන්දු ක්‍රීඩාව තුළ මෙය වඩාත් කැපී පෙනුණු අතර, Royal Challenge Bengaluru කණ්ඩායම නිමා වූ IPL තරගාවලිය ජය ගැනීමත් සමඟ එය ක්‍රිකට් ක්‍රීඩාවට ද අදාළ බව පෙනී ගියා. මේ වන විට දකුණු අප්‍රිකාව ද එම කණ්ඩායම් අතරට එක් වෙමින් වසර ගණනක් තිස්සේ පෙරුම් පුරමින් බලා සිටි, ඉතා ආසන්න අවස්ථා ගණනක් අවාසනාවන්ත ලෙස අහිමි කරගත් අතීතයට තිත තබමින් තම ක්‍රිකට් තරග ඉතිහාසයේ නවමු පිටුවක් පෙරලීමට සමත් වී තිබෙනවා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<