Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී

Tier B T20 Tournament 2026

7
Tier B T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට Army SC ක්‍රීඩකයෝ අද (26) සමත් වෙනවා.

අනුරාධපුර සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අවසන් මහා තරගයේ දී ඔවුන් Leo CC කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කී අතර මීට පෙර පැවැති Tier B එක්දින තරගාවලියේ ද ශූරතාව දිනා ගත්තේ ඔවුන් වීමත් විශේෂත්වයක්.

>>Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Leo CC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 13ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට Army SC ක්‍රීඩකයෝ සමත් වෙනවා.

Leo CC කණ්ඩායම

 

සුපුන් ඩිල්ශාන් (නායක), ප්‍රසාද් අසංක, අශාන් ප්‍රනාන්දු, නෙත්ම කරුණාරත්න, නෙලුක හේෂාන් (කඩුලු රකින්නා), රොමේෂ් සුරංග,  පූර්ණ කල්හාර, සලිඳු පතිරණ, විශ්ව රාජපක්ෂ, සුදාර දක්ෂිණ සහ ගයන කහවිටි,

Army SCකණ්ඩායම

 

ශෙහඳ සොයිසා (නායක), අශාන් සුදර්ශන (කඩුලු රකින්නා), ජනක සම්පත්, මනුශ්ක සමිත්, ක්‍රිශේන් අපෝන්සු, තිසර පෙරේරා, රවිඳු විජේවර්ධන,  ලිලාන් රංගන, පැතුම් මලිත, සරත් මදුශ්ක සහ හර්ෂජිත් රුශාන්.  

පළමුවෙන් පන්දුවට පහර දුන් Leo CC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ පූර්ණ කල්හාර. ඔහු පන්දු 20ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තා.

ඔහු විශ්ව රාජපක්ෂ (නොදැවී 11) හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 22ක දී නොදැවුණ ලකුණු 42ක සබඳතාවක් ද එක් කළා.

ඔවුන්ට අමතර ව නෙලුක හේෂාන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ද, ප්‍රසාද් අසංක පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද සහ නෙත්ම කරුණාරත්න පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද  ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සරත් මදුශ්ක ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ලිලාන් රංගන කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Army SC කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 39ක් වෙද්දී දැවී ගිය ද සිව් වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 63ක සබඳතාවක් ගොඩ නැගීමට නායක ශෙහඳ සොයිසා සහ ක්‍රිශේන් අපෝන්සු සමත් වෙනවා.

එම සබඳතාව බිඳී යන්නේ ශෙහඳ සොයිසා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 22ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.

Army SC කණ්ඩායම ජයග්‍රහණය ලබන විට තිසර පෙරේරා පන්දු 21ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ද සහ ක්‍රිශේන් අපෝන්සු පන්දු 43ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 42ක දී නොදැවුණ ලකුණු 62ක සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරුවන් වූ ජනක සම්පත් පන්දු 12ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ද සහ අශාන් සුදර්ශන පන්දු 7ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රසාද් අසංක සහ සුපුන් ඩිල්ශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Leo CC – කඩුලු 6ක් දැවී 163 (20.0) ප්‍රසාද් අසලංක 22, නෙත්ම කරුණාරත්න 21, නෙලුක හේෂාන් 37, පූර්ණ කල්හාර නොදැවී 40, සරත් මදුශංක 4/41
  • Army SC – කඩුලු 4ක් දැවී 164 (17.5) ක්‍රිශේන් අපෝන්සු නොදැවී 38, ශෙහඳ සොයිසා 41, තිසර පෙරේරා නොදැවී 41, ප්‍රසාද් අසලංක 2/37, සුපුන් ඩිල්ශාන් 2/39

Army SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – ශෙහඳ සොයිසා (Army SC)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඉශාන් අබේසේකර (Navy SC)

තරගාවලියේ දක්ෂතම පිතිකරු – යශෝධ මෙන්ඩිස් (Kandy Customs SC)

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – කාවින්ද ඊශ්වර (Ragama CC)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<