ආසියානු ක්‍රිකට් ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම්

20th Asian Games

1
20th Asian Games

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වන් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය පසුගියදා නම් කළා. එම තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු නම් කර ඇති අතර පිරමි ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චි නම් කර තිබෙනවා.

නම් කරන ලද කාන්තා කණ්ඩායමට පසුගියදා නිමා වූ විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියට එක් වූ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ම නම් කර තිබුණ ද එහි දී ආබාධිත තත්ත්වයට පත් නිලක්ෂිකා සිල්වා සහ විශ්මි ගුණරත්න වෙනුවට හංසිමා කරුණාරත්න සහ අනුශ්කා සංජීවනී එක් කර තිබෙනවා.

යොවුන් ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත පිරිමි කණ්ඩායමට එක්දින සහ විස්සයි විස්ස වරම් හිමි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ඇතුලත් අතර ඊට අමතර ව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභී Moors SC කණ්ඩායමේ සොහාන් ද ලිවේරා මෙන් ම එම තරගාවලියේ වැඩිම කඩුලුලාභී Tamil Union C & AC කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් ද මෙම කණ්ඩායමට ඇතුලත්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කෞෂිනී නුත්‍යාංගනා, කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි, නිමාෂා මීපගේ, චමෝදි ප්‍රබෝධා, රශ්මිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, මිතාලි අයෝධ්‍යා, හංසිමා කරුණාරත්න සහ අනුශ්කා සංජීවනී.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), සිනෙත් ජයවර්ධන, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, සොහාන් ද ලිවේරා, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුශාන්.

Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරග ඉසව්වන් හී කාන්තා ක්‍රිකට් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව සමඟින් බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, පාකිස්තානය සහ තායිලන්තය යන රටවල් සහභාගී වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලට එක් වෙන එම කණ්ඩායම් 8, අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භව තරග පැවැත්වෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙල හා එක් වෙන්නේ මේ මස 17 වැනිදා (හෙට) 3 වැනි අර්ධ අවසන් පූර්ව තරගයටයි. ඒ මාලදිවයින කණ්ඩායම සමඟිනුයි.

එම ඉසව්වේ අවසන් පූර්ව වටය මේ මස 20 වැනිදා ද සහ අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරග මේ මස 22 වැනිදා ද පැවැත්වීමට යෝජිතව තිබෙනවා.

පිරිමි ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව සමඟින් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, නේපාලය, ඕමානය සහ පාකිස්තානය යන රටවල කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිතයි.

එම කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය තරගාවලිය සඳහා ඉදිරිපත් වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ සිටයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය යෙදී ඇත්තේ මේ මස 29 වැනිදාටයි.

එහි අවසන් පූර්ව වටයේ තරග එළැඹෙන ඔක්තෝබර් මස 1 වැනිදා ද සහ අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය තෝරා ගන්නා තරගය ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<