ක්‍රීඩකයින් 29ක් අවසානයේ ගිවිසුම් අත්සන් කරයි

11403

ඊයේ (6) දිනයේ දී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 29 දෙනෙක් එළඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

ඊයේ දිනයේ දී ක්‍රීඩකයින් 10-12ක අතර ප්‍රමාණයක් ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් තබා තිබුණු අතර ඉතිරි ක්‍රීඩකයින් හට ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට අද (7) උදෑසන දක්වා කාලය ලබා දී තිබුණා.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී දිවයිනට පැමිණ කොළඹ Taj Samudra හෝටලයේ ස්ථාපිත කර තිබෙන ජෛව ආරක්ෂිත බුබුල (bio-bubble) සඳහා ඇතුළත් වී තිබෙනවා. 

ඔවුන් නිමා වූ එංගලන්ත සංචාරය සඳහා පිටව ගියේ 2021/2022 වසර සඳහා වන ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හෝ තරගාවලිය සඳහා පමණක් වලංගු වන සංචාරක කොන්ත්‍රාත්තුව සඳහා හෝ ගිවිසුම්ගත නොවෙමිනි. මේ සඳහා හේතුව තිබුණේ ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ තිබෙන්නා වූ විනිවිදභාවය බව ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙත දිගින් දිගටම පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

සංචාරක ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට ඉන්දීය තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වන බවටයි මීට පෙර ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ‘A’, ශ්‍රී ලංකා නැගී එන සහ ජ්‍යේෂ්ඨ යන කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් 40කට ආසන්න ප්‍රමාණයක් 2021/22 ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා ගිවිසුම්ගත වෙමින් දඹුල්ලේ සහ කොළඹ ස්ථාපිත කර තිබෙන ජෛව ආරක්ෂිත බුබුළු සඳහා ඇතුලත්ව සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජාතික කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම සඳහා තවමත් කැමැත්ත පළ කර නොමැති දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් වැනි අත්දැකීම් බහුල ශ්‍රී ලංකා හිටපු නායකයින් වෙත එළඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ලබා දී නැහැ. ඇන්ජලෝ මැතිව්ස් හට ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු ගිවිසුම ලබා දී තිබෙන නමුත්, පුද්ගලික හේතුවක් නිසාවෙන් තමාව ඉන් ඉවත් කරන ලෙස මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

ඉන්දීය තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් දැනට සකසා තිබෙන නමුත් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය හෙට (8) දිනයේ දී නම් කිරීමට නියමිතව තිබෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<