ටෙස්ට් තරග බිම ආක්‍රමණයට සැරසෙන වෝර්න්ගේ අනුප්‍රාප්තිකයා

4772

පුරා වසර හතක කාලයක් දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් පා දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා නව තරග වාරය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කොට තිබෙන්නේ ටෙස්ට් තරග බිමේ ඔහුගේ ඉදිරි අනාගතය සකසා ගැනීමේ අරමුණ නිසාවෙන් බව වාර්තා වේ.

20-20 ලෝක කුසලානය ගැන ඕස්ට්‍රේලියාවෙන් මැසිවිලි

2012 වසරේ දී තම මංගල පළමු පෙළ තරගය ක්‍රීඩා කරමින් නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කළ සැම්පා ඉන් අනතුරුව දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එක්වන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයක ආරම්භය සටහන් කරමිනි. සීමිත පන්දුවාර තරගයන්හී සුවිශේෂී දස්කම් පෑ ඔහු අද වන විට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නැතිවම බැරි සාමාජිකයෙකු බවට පත්වී තිබෙන්නේ කෙටි කාලසීමාවක් තුල දී විස්සයි විස්ස, පන්දුවාර 50 වැනි අතිශය තරගකාරී අකෘතීන් තුල අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය නිසාවෙනි.

එක්දින සහ විස්සයි විස්ස කඩුලු 108කට උරුමකම් කීවත් තවමත් ටෙස්ට් තරග බිමේ දී තම මව්රට නියෝජනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන සැම්පා කෙසේ හෝ එම කඩුල්ල පැන ගැනීමට මේ වන විට මාන බලමින් සිටින්නේ තරමක උපක්‍රමශීලී ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමිනි. 

ඕස්ට්‍රේලියානු දඟපන්දු බලඇණියේ නියමුවා ලෙස කටයුතු කරන නේතන් ලයන් සමඟ එක්ව නිව් සවුත් වේල්ස් කණ්ඩායම සවිබල ගැන්වූ ස්ටීවන් ඕ’කීෆ් තම ක්‍රීඩා දිවියට සමුදීමත් සමඟම ඔහුගෙන් පුරප්පාඩු වූ දඟපන්දු භූමිකාව රඟ දැක්වීමේ අනගි අවස්ථාවක් මේ වන විට සැම්පා හට හිමිව තිබේ. 

මීට අමතරව ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාර්ක් වැනි වත්මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයින් රැසක් සමඟ එකට ක්‍රීඩා කරමින් ඔවුන් සතු අත්දැකීම් සහ දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමේ අපූරු අවස්ථාවක් ද සැම්පා හට උදා තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

“නිව් සවුත් වේල්ස් කණ්ඩායම කියන්නේ මට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. මම ක්‍රිකට්වලට අත්පොත් තියපු මුල් කාලේ ඉඳන් මම පාසල් යන අවධියේ දී කනිෂ්ඨ ක්‍රිකට් තරග ක්‍රීඩා කරපු කාලසමය දක්වා සුන්දර මතක සටහන් ගොන්නක් අදටත් ඉතුරු වෙලා තියෙන්නේ මේ කණ්ඩායමත් එක්ක තියෙන ඉතාමත් සමීප බැඳීම නිසා. ෂීල්ඩ් කුසලානය වගේ ඉතාමත් අභියෝගාත්මක තරගාවලියක මම කොතෙක් දුරට හොඳින් දක්ෂතා දක්වනවා ද බලන්න මේක හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම නේතන් ලයන් එක්ක එකතු වෙලා හොඳ දඟපන්දු සම්මිශ්‍රණයක් ගොඩනඟන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අවධියේ දී තම පවුලේ සාමාජිකයන්ගේ ඈත්ව කාලය ගත කිරීමට සිදු වීම සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් පැවති නමුත් එම ගැටලුව ද මෙමඟින් පිළිතුරක් ලැබී ඇති බැවින් තමන්ට වෙනදාටත් වඩා සතුටින් තරග කළ හැකි බව සැම්පා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

“මටත්, මගේ සහකාරිය හැරියට් ටත් වැඩි වේලාවක් පවුලේ සාමාජිකයින් එක්ක ගත කරන්න ලැබීම ගැන අපි දෙන්නම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම පළමු පෙළ තරග ක්‍රීඩා කරන්න ආපු මුල් කාලේ ගොඩක් සමීපව ඇසුරු කරපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ක ආයෙත් එකට ක්‍රීඩා කරන්න මම ඉතාමත් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේම මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මගේ වටේ ඉන්න පිරිස මාව දිරි ගන්වලා මගේ දක්ෂතා මුවහත් උදව් කරගන්න උදව් වෙයි කියන එක. ඒ හැමදේටම ගැළපෙන හොඳම තැන නිව් සවුත් වේල්ස් කණ්ඩායම කියලයි මට හිතෙන්නේ.”

සැම්පාගේ නැවත ආගමනය සම්බන්ධයෙන් ඉතාමත් පැහැදීමෙන් පසුවන නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් ජැක්ස් මහතා සඳහන් කර සිටියේ සැම්පා වැනි ජාත්‍යන්තර තලයේ හැකියා දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකු කණ්ඩායමේ සිටීම ප්‍රතිවාදීන් වෙත වැඩි පීඩනයක් එල්ල කිරීමට ප්‍රබල අවියක් ලෙස යොදාගත හැකි බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<