ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි

Women’s T20 Asia Cup 2026

1

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.  

 Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (13) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි.  

ශ්‍රී ලංකාව – ඉන්දියාව එක් වෙන අපරාජිත කණ්ඩායම් ද්විත්වයක ආසියානු හටන

මෙම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය ම පෙර තරගය හා එක් වූ කණ්ඩායම්වල එක් වෙනස්කම බැගින් සිදු කරමින් කණ්ඩායම් නම් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජනා කාවින්දි වෙනුවට විශ්මි ගුණරත්න කැඳවා තිබූ අතර ඉන්දියාව වෙනුවෙන් Pratika Rawal වෙනුවට 18 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යැවූ Gunalan Kamalini එක් කර තිබුණා.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මිතාලි අයෝද්‍යා සහ චමුදි ප්‍රබෝධා. 

 

පෙර තරගය හා එක් වූ ඉන්දීය කාන්තා කණ්ඩායම  

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Bharti Fulmali, Gunalan Kamalini, Prema Rawat, Shree Charani, Kranti Gaud සහ Nandani Sharma. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකාරිනියන් වූ  Smriti Mandhana සහ Shafali Verma සමත් වුණා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 77ක දී ලකුණු 129ක සබඳතාවක් එක් කරනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Shafali Verma ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 3ක් එක් වෙද්දී Smriti Mandhana ද දැවී යනවා. දුවද්දී දැවී යෑමකට ගොදුරු ව ඇය ඉනිම හැර යද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.  

ඉන් අනතුරු ව Richa Ghosh පන්දු 13ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද, Gunalan Kamalini පන්දු 5ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ නායිකා Harmanpreet Kaur පන්දු 14ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී මිතාලි අයෝද්‍යා, සුගන්දිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා චමරි අතපත්තු. ඇය පන්දු 32ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. එම ඉනිමේ දී ඇය විශ්මි ගුණරත්න හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 58ක සබඳතාවක් ද එක් කරනවා.  

විශ්මි ගුණරත්න පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට තනි ඉලක්කමෙන් එපිට ට යෑමට ඉන්දීය පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

එහි දි වමතින් දඟ පන්දු යැවූ Shree Charani ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ සමඟින් ඇය කැලැන්ඩර් වසරක් තුළ ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩිකාව බවට ද පත් වුණා. ගෙවී යන වසරේ දී ඇය මේ දක්වා කඩුලු 39ක් ලබා සිටින අතර ඊට පෙර එහි රැදී සිටියේ 2018 වසරේ දී කඩුලු 35ක් දවාගෙන සිටි Poonam Yadav. 

මෙම තරගයේ දී Shree Charaniට අමතර ව Deepti Sharma ලකුණු 19කට කඩුලු 3ක් ද, Kranti Gaud, Prema Rawat සහ Shafali Verma කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 183 (20.0) Smriti Mandhana 59, Shafali Verma 68, Gunalan Kamalini නොදැවී 15
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 111 (20.0) චමරි අතපත්තු 36, විශ්මි ගුණරත්න 20, නිලක්ෂිකා සිල්වා 22, Shree Charani 4/20, Deepti Sharma 3/19

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 72ක ජයක්.  

තරගයේ වීරයා – Shafali Verma (ඉන්දියාව) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<