ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (25) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියේ පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක් ව වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම් ද සමඟිනුයි.
කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසිනුයි සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ.
>>ඉන්දියාව 503/9යි. ශ්‍රී ලංකාව අසාර්ථ ආරම්භයක
ඒ සමඟින් ඔවුන් මේ වෙද්දී ප්‍රතිවාදී ඉන්දියාවට වඩා තවත් ලකුණු 238ක් පිටුපසින් පසු වෙන අතර ඔවුන්ට තවත් ඉතිරි ව ඇත්තේ කඩුලු ද්විත්වයක් පමණයි.
තරගය අද ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ව පැවැති අතර ඒ වෙද්දී කමිල් මිෂාර නොදැවී ලකුණු 5ක් ලබා සිටියා. අද දවස ආරම්භ වෙද්දී ඉනිමේ අලුත් ම පිතිකරු ලෙසින් කමිල් මිෂාරට එක් වූයේ පසිඳු සූරියබණ්ඩාර.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 35ක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් කමිල් මිෂාරට ඉනිම හැර යන්නට සිදු වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව පිටියට පිවිසියේ කමිඳු මෙන්ඩිස්. ඔහු හා එක් වෙද්දී පසිඳු සූරියබණ්ඩාර පන්දු 19කින් ලකුණු 12ක් ලබා සිටි අතර තමන් මුහුණ දුන් 76 වැනි පන්දුවේ දී තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. බින්දුවෙන් ආරම්භ කළ ටෙස්ට් තරග ලකුණු ගිණුමේ මංගල ලකුණු 50ට හතරේ පහර 6ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.
පසිඳු සූරියබණ්ඩාර ගේ අර්ධ ශතකය වාර්තා වී නොබෝ වේලාවක් ගත වූ පසුව කමිඳු මෙන්ඩිස් ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර සිවු වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 87ක්. ඊට පන්දු 123ක් වැය ව තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් පන්දුවාර 2කට පසුව තරගය දිවා විවේකය සඳහා නතර කෙරුණ අතර ඒ වෙද්දී පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 65ක් ද සහ නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 4ක් ද ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ව තිබුණා.
- නවකයන් මත පැටවෙන 2 වැනි ටෙස්ට් තරගයේ අභියෝගය
- කමිල් මිෂාර T20 වාර්තා පොත් අලුත් කරයි
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
- ශ්‍රී ලංකාව, තුන්කොන් තරගාවලියකට පාකිස්තානයට
- සදීර සහ නුවනිඳු ශතක වාර්තා කරයි
දිවා විවේකය තුළ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වෙන්නේ නියමිත වේලාවට වඩා පැය භාගයකට පසුවයි. එසේ ආරම්භ වූ ඉනිම තුළ ධනංජය ද සිල්වා ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 8ක් ලබා සිටිය දී දැවී යනවා.
ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් පසිඳු සූරියබණ්ඩාර දැවී යද්දී පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා. ඔහු දැවී යද්දී අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි සොනාල් දිනූෂ හා එක් ව එම කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 34ක සබඳතාවක් ද එක් කරනවා.
පසිඳු සූරියබණ්ඩාර ගේ දැවී යෑමත් සමඟින් යැවුණ 3 වැනි පන්දුවේ දී නිරෝෂන් දික්වැල්ලට ලකුණු නොලබා ම දැවී යෑමට සිදු වෙනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ව පැවැති අතර ඉන් පසුව කඩුල්ලේ දී පන්දු 137ක දී ලකුණු 57ක් එක් කිරීමට සොනාල් දිනූෂ සහ කේශර නුවන්ත සමත් වෙනවා.
එම කඩුල්ලේ සබඳතාව පවතිද්දී සොනාල් දිනූෂ ඉන්දියාවට එරෙහි ව පිට පිට වාර්තා කරන ලද ලකුණු 50කට වැඩියෙන් වූ තෙවැනි ඉනිම තමන් මුහුණ දුන් 82 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් වෙනවා. සොනාල් දිනූෂ ඉන්දියාව සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ශතකයක් සහ අර්ධ ශතයක් ලබා ගන්නවා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 216ක් ව පවතිද්දී ගත් තේ විවේකයේ දී ද ඔවුන් දෙදෙනා නොදැවී පිටියේ රැඳී සිටි අතර ඉන් අනතුරු ව යැවුණ 20 පන්දුවේ දී ඔවුන් ගේ සබඳතාව බිඳී යනවා.
ඊට ගොදුරු වෙන්නේ කේශර නුවන්ත. ඔහු දැවී යන විට පන්දු 74ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
තරගය වර්ෂාව හේතුවෙන් 3 වැනි දිනයට නතර වෙද්දී සොනාල් දිනූෂ පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ලහිරු කුමාර පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් මේ වෙද්දී 9 වැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කර තිබෙනවා.
කඩුලු දවා ගැනීමේ දී Prasidh Krishna සහ Manav Suthar කඩුල්ල බැගින් දවා ගත් අතර ඊට අමතර ව Mohammed Siraj සහ Ravindra Jadeja කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 503 (138.0)Yashasvi Jaiswal45, Devdutt Padikkal 117, Shubman Gill 50, Rishabh Pant 63, Ravindra Jadeja 43, Dhruv Jurel නොදැවී 115, අසිත ප්‍රනාන්දු 4/106, ප්‍රභාත් ජයසූරිය 132/2, කේශර නුවන්ත 2/154
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 265 (83.4) පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ නොදැවී 85, Prasidh Krishna3/47,Manav Suthar 3/83
ශ්‍රී ලංකාව ලකුණු 238ක් පිටුපසින්.
මෙම තරගය හෙට (26) 4 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















