කොදෙව්වන් පළමු විස්සයි විස්ස තරගය ජය ගනී!

Sri Lanka Tour Of West Indies 2026

8
Sri Lanka Tour Of West Indies 2026

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (12) උදෑසන Kingston හිදි පැවැත්වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, එහි දී ශ්‍රී ලංකා ආරම්හක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසින් පන්දුවාර 4 පන්දු 2ක් වන විට ලකුණු 43ක් ලබමින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙහි දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 18කට දැවී ගිය අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ 49 වන ලකුණ සටහන් වන විට කඩුලු 3ක් බිඳ දැමීමට කොදෙව්වන් විසින් සමත් වුනා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස පන්දු 23කින් ලකුණු 36ක් ලැබූ කුසල් මෙන්ඩිස් ද පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව හිටපු නායක දසුන් ශානක සහ නව උපනායක කමිඳු මෙන්ඩිස් පිටියේ එක් වුනා. ඔවුන් දෙදෙනා විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට සමත් වූ අතර, දසුන්ගේ ඉනිම ලකුණු 22කින් අවසන් වීමත් සමඟ නැවතත් ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීම ආරම්භ වුනා.

කෙසේ වෙතත් කමිඳු මෙන්ඩිස් විසින් තම කණ්ඩායම වෙනුවෙන් උපරිමය ලබා දෙමින් පන්දු 39ක් තුළ හතරේ පහර 4ක් සහ හයේ පහර 02ක් සමඟ ලකුණු 51ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147ක් කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් Jason Holder සහ Samar Joseph විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පිටියට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 148ක ඉලක්කය හඹා යෑම ආරම්භ කළා. මෙහි දී කොදෙව්වන් විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් Brandon King ලකුණු 27කින් දායක වුනා.

මේ අතර ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරු සගයා මෙන්ම කොදෙව් නායකයා වූ Shai Hope විසින් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 54කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ ජය කොදෙව්වන් වෙත රැගෙන ඒමට එම ඉනිම නැංගුරම ලෙසින් ක්‍රියා කළා.

කොදෙව්වන් විසින් පන්දුවාර 19 පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් රැස් කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් බිඳ හෙළන අතරේ, එශාන් මාලිංග ලකුණු 26කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය එළඹෙන 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය පිළිබඳ ව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<