Bangla Tigers මතීෂ පතිරණව රඳවා ගනී

අබුඩාබි T10 තරගාවලිය 2022

703

මෙම වසරේ පැවැත්වීමට නියමිත අබුඩාබි T10 තරගාවලියේ හයවැනි අදියර සඳහා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය කණ්ඩායමේ රඳවා ගැනීමට, ඔහු අවසන් වරට නියෝජනය කළ කණ්ඩායම වූ, Bangla Tigers හිමිකරුවන් තීරණය කර තිබෙනවා.

Bangla Tigers මෙවර තරග වාරය සඳහා සිය කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයින් පිළිබඳව දැනුවත් කර තිබූ අතර මතීෂට අමතරව ඔවුන් සිය කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයා වූයේ හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Mohammad Amir.

එමෙන්ම එම කණ්ඩායම මෙවර තරග වාරය සඳහා වමත් ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු ද කණ්ඩායමට එක් කර ගත් බව ප්‍රකාශ කර තිබුණා.

එලෙස Bangla Tigers කණ්ඩායමට නව ගිවිසුම් ගතව තිබූ ක්‍රීඩකයන් වුනේ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Evin Lewis සහ නවසීලන්ත පිතිකරු Colin Munro වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ මතීෂ අබුඩාබි T10 තරගාවලිය කිහිපවරක්ම නියෝජනය කළ අතර ඔහු පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළා.

එමෙන්ම ඔහු මෙම මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත්.

මෙවර අබුඩාබි T10 තරගාවලිය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 04 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<