පාසල් රග්බි ලීගයේ උණුසුම තවත් ඉහළට!

Dialog Schools’ Rugby League 2026 – 2nd Round

2
2026 dialog schools rugby leauge

දේශීය පාසල් රග්බි ලීගයේ Super Round තරග නිමා වූ සති අන්තයේ දී ආරම්භ වුනා. 

ලීගයේ මුල් වටයේ දී පාසල් 18ක් විසින් කාණ්ඩ තුනක් යටතේ තරග වැදුණු අතර, ඉන් පසුව පළඟ, බඳුන සහ කුසලාන අංශ ත්‍රිත්වය සඳහා පාසල් 06 බැගින් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

නිමා වූ සති අන්තයේ දී මෙම පාසල් 18ක නැවතත් සිය සටන් ආරම්භ කළේ සිය උපරිමය සමඟ තමන්ට උරුම කුසලානය රැක ගැනීමේ අරමුණෙන් යුතුවයි. 

පළඟ ශූරතාව 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය 

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ඉතා හොඳ තරගකාරී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණා. පළමු අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 19ක් කරා යන අතරේ, සාන්ත තෝමසුවන් විසින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට තවදුරටත් ලකුණු රැස් කිරීමට ජෝසප් ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. එමෙන්ම එම කාලය තුළ ජෝසප් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 10ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • සාන්ත ජෝසප් විද්‍යාලය 29 (4T, 3C, 1P) – සාන්ත තෝමස් විද්‍යාලය 15 (2T, 1C, 1P) 

තරගයේ වීරයා – ඒඩ්‍රියානෝ කන්දප්පා (සාන්ත ජෝසප් විද්‍යාලය) 


සාන්ත අන්තෝනි විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  

පාසල්‍ රග්බි පිටියේ ඉතා තරගකාරී පාසල් ද්විත්වයක් විසින් ඉතා ඉහළ සටහන් නිර්මාණය කිරීමට පසුගිය සතියේ දී සමත් වුනා. මෙම තරගයේ පළමු අර්ධය තුළ පාසල් ද්විත්වය විසින් ම ලකුණු 07 බැගින් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරගයේ දෙවැනි අර්ධය තවත් උද්වේගකර එකක් වුනා. තරගයේ දෙවැනි අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 07ක් ලබාගනිද්දී, සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. මේ අනුව තර්ස්ටන් විද්‍යාලයට තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් හිමි වුනා. 

  • තර්ස්ටන් විද්‍යාලය 14 (2T, 2C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 12 (2T, 1C) 

තරගයේ වීරයා – අමිඳු රාජපක්ෂ (තර්ස්ටන් විද්‍යාලය) 


ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය  

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ඉතා හොඳ සටනක නිරත වුනා. මෙහි දී ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් ලකුණු 12ක් ලබාගන්නා අතරේ, ආනන්ද විද්‍යාලය විසින් ඔවුන්ට වඩා එක් ලකුණක් පෙරමුණේ රැඳීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයට තවදුරටත් සිය සුපුරුදු තරගකාරී ස්වභාවය රැක ගැනීමට නොහැකි වූ අතර, ආනන්ද විද්‍යාලය විසින් සුමංගල ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වලක්වාලීමට සමත් වුනා. එමෙන්ම එම අතරවාරයේ දී ආනන්ද විද්‍යාලය විසින් තවත් ලකුණු 18ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ද සමත් වුනා. 

  • ආනන්ද විද්‍යාලය 31 (3T, 2C, 4P) – ශ්‍රී සුමංගල විද්‍යාලය 12 (2T, 1C) 

තරගයේ වීරයා – දෙනෙත් චමුදිත (ආනන්ද විද්‍යාලය) 

බඳුන ශූරතාව 

මොරටුව වේලස් කුමර විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය  

මෙම සති අන්තය තුළ ක්‍රියාත්මක වූ තවත් උණුසුම් තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ වේලස් කුමර විද්‍යාලය ලකුණු 07ක් ලබාගන්නා අතරේ, ඩී.එස්. ක්‍රීඩකයින් විසින් ලකුණු 10ක් ලබාගනිමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ද වේල්ස් කුමරුවන් විසින් සිය අභියෝගය නො බිඳී පවත්වා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඔවුන් තවත් ලකුණු 14ක් රැස් කරද්දී ඩී.එස්. ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 27 (5T, 1C) – වේල්ස් කුමර විද්‍යාලය 21 (3T, 3C) 

තරගයේ වීරයා – බුද්ධිත රුසිරු (ඩී.එස්.සේනානායක විද්‍යාලය) 


මහානාම විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය 

මෙම තරගයේ ද පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වුනා. එහි දී මහානාම ක්‍රීඩකයින් විසින් ලකුණු 12ක් ලබා ගන්නා අතරේ, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලකුණු 10ක් ලබා ගනිමින් හොඳ තරගයකට අවතීර්ණ වුනා. 

මහානාම විද්‍යාලයට වඩා පළමු අර්ධයේ දී ලකුණු 02ක් පිටුපසින් සිටි කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් දෙවැනි අර්ධයේ දී සිය අළු ගසා දමමින් තරගයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනේ තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. 

  • මහානාම විද්‍යාලය 12 (2T, 1C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 29 (4T, 3C, 1P) 

තරගයේ වීරයා – සහිරා විද්‍යාලය 

ලුම්බිණි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය 

මෙම තරගයේ දී විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් විසි ලුම්බිණි විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ ම විද්‍යා ක්‍රීඩකයින් විසින් සිය ජය තහවුරු කර ගැනීමේ ක්‍රීඩා විලාශයක නිරත වූ අතර, එහි දී ඔවුන් ලකුණු 19ක් ලබා ගනිමින් මෙන්ම, ලුම්බිණි විද්‍යාලය ලකුණු ලබා ගැනීම නතර කිරීමට ද සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම අර්ධයේ දී ලුම්බිණි ක්‍රීඩකයින් ද ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ නමුත් එය ඔවුන්ට තරගයේ ජයග්‍රහණය සපුරා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නැහැ. 

  • විද්‍යා විද්‍යාලය 26 (4T, 3C) – ලුම්බිණි විද්‍යාලය 10 (1T, 1C, 1P) 

තරගයේ වීරයා – මෙතුක එදිරිසිංහ (විද්‍යා විද්‍යාලය) 


ශූරතා කුසලානය 

ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය 

මෙම තරගයේ ද පළමු අර්ධය ඉතා උණුසුම් කරට කර සටනක් ලෙසයි ක්‍රියාත්මක වුනේ. තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම දෙකම උත්සාහක දිනුම් දෙකක් ද සමඟ ලකුණු 12ක් බැගින් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීය විද්‍යාලයට තවදුරටත් ලකුණු හඹා යාමට ඉඩ නොතැබු ඉසිපතන ක්‍රීඩකයින් විසින් සිය ආධිපත්‍යය විහිදුවා ලමින් තවත් උත්සාහක දිනුම් 3ක් ද සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.  

  • ඉසිපතන විද්‍යාලය 31 (5T, 3C) – රාජකීය විද්‍යාලය 12 (2T, 2C)  

තරගයේ වීරයා – නිමන්ත සන්දීප 

සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

නිමා වූ සතියේ ක්‍රියාත්මක වූ වඩාත් තීරණාත්මක ම තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. මෙම තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර විද්‍යාලය විසින් උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 20ක් ලබාගන්නා අතරේ, සහිරා ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර විද්‍යාලයට වඩා ලකුණු තුනක් පසුපසින් සිටි සහිරා ක්‍රීඩකයින් විසින් තරගයේ දෙවැනි අර්ධය තුළ තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනේ, සාන්ත පීතර ක්‍රීඩකයින්ට ලකුණු 14ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබා දෙමිනුයි. මේ අනුව තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සහිරා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. 

  • සහිරා විද්‍යාලය 38 (5T, 5C, 1P) – සාන්ත පීතර විද්‍යාලය 34 (5T, 3C, 1P) 

තරගයේ වීරයා – සයිෆුල්ලා සුල්ෆිකාර් (සහිරා විද්‍යාලය) 


වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය 

මෙම තරගයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් ඉතා පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ ම සිය ආධිපත්‍යය පැතිරීමට සමත් වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් වෙස්ලි විද්‍යාලයට එකදු ලකුණක් හෝ ලබා නොදී ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනේ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 10ක් පමණක් රැස් කරන අතරතුරේ දීයි. 

මෙහි දී ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 07ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් ත්‍රිත්වයක් ම අචින්ත ජයසේන සතු වුනා. 

  • ත්‍රිත්ව විද්‍යාලය 43 (7T, 4C) – වෙස්ලි විද්‍යාලය 10 (2T) 

තරගයේ වීරයා – අචින්ත ජයසේන (ත්‍රිත්ව විද්‍යාලය) 

පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<