කොදෙව්වන්ට එරෙහි ව අංජල බණ්ඩාරගෙන් සටන්කාමී ඉනිමක්

West Indies Academy tour of Sri Lanka 2026

2
West Indies Academy tour of Sri Lanka 2026

අසාර්ථක ඉදිරි පෙළකින් පසුව යශ්ටිය අතට ගත් පසු පෙළ ක්‍රීඩකයන් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමට එරෙහි ව සාර්ථක පළමු දිනයක් නිමා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් නිල නොලත් සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (8) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා නැගී එන ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වූවා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, රවිඳු රසාන්ත, අසිත වන්නිනායක, සහන් කෝසල, ශාරුජන් ශන්මුගනාදන්, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), තරින්ද නිර්මාල්, ශක්ති උදාර, නිසල අබේරත්න සහ චමෝද් බට්ටගේ.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Rivaldo Clarke (නායක සහ කඩුලු රකින්නා), Damel Evelyn, Mbeki Joseph, Mavendra Dindyal, Kevlon Anderson, Shaqkere Parris, Amari Goodridge, Johann Layne, Jediah Blades, Ryan Bandoo සහ Kelvin Pitman.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ පුලිඳු පෙරේරා සහ රවිඳු රසාන්ත. ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ලකුණු 13ක් වෙද්දී ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 9ක් ලබා සිටි පුලිඳු පෙරේරා දැවී යනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 3ක් එක් වෙද්දී රවිඳු රසාන්ත (4) ද සහ එතැන් සිට තවත් ලකුණු 10ක් එක් වෙද්දී සහන් කෝසල (3) ද දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 26ක් ලෙසයි.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී අසිත වන්නිනායක සහ ශාරුජන් ශන්මුගනාදන් එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කරමින් ලකුණු පුවරුවට යම් ජවයක් කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ශාරුජන් ශන්මුගනාදන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා. අසිත වන්නිනායක ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.

එතැන් සිට නැවතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු ඉඩෝරයකට මුහුණ දුන්නා. එතැන් සිට ලකුණු 20ක් එක් වෙද්දී නායක දිනුර කළුපහන ලකුණු 5කට ද සහ තරින්ද නිර්මාල් ලකුණු 3කට ද දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ කඩුලු 7ක් ලකුණු 133කට දැවී ගොස් තිබුණා.

එම කඩුලු ද්විත්වය දැවී යන විටත් අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි අංජල බණ්ඩාර, ශක්ති උදාර ද එක් කර ගනිමින් 8 වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 ආසන්නයට රැගෙන එනවා. පන්දු 81ක් වැය වූ එම සබඳතාව නිමා වෙද්දී ශක්ති උදාර පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අංජල බණ්ඩාර ට එක්වෙන්නේ නිසල අබේරත්න. ඔවුන් දෙදෙනා එක් ව දිනය අවසන් වන තුරු තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ගෞරවනීය බවක් ගෙන දෙනවා.

එහි වැඩි කාර්යභාරයක් සිදු කරන්නේ අංජල බණ්ඩාර. ඔහු තම ශතකය 120 වැනි පන්දුවේ දී වාර්තා කරමින් දිනය නිමා වන විට ඔහු පන්දු 165කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 126ක් ලබා සිටියා.

නිසල අබේරත්න නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38ක්. ඒ වෙද්දී ඔහු පන්දු 69කට මුහුණ දී සිටි අතර හතරේ පහර 7ක් ඊට එක් කර තිබුණා.

ඔවුන් දෙදෙනා එක් ව දිනය නිමා වන විට 9 වැනි කඩුල්ලට පන්දු 163ක දී නොදැවී ලකුණු 109ක සබඳතාවක් එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Johann Layne ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Ryan Bandoo සහ Jediah Blades කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 302 (77.0)අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර නොදැවී 126, නිසල අබේරත්න නොදැවී 38, Jediah Blades 2/64, Johann Layne 2/58, Ryan Bandoo 2/45

තරගය හෙට (9) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<