CR&FC තරගය අත්හැර දමයි; පොලීසියට ජය

62

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ තවත් තරගයක් ඊයේ (01) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ CR&FC හා පොලිස් ක්‍රීඩා සමාජ අතරයි. එම තරගයේ ජයග්‍රහණය පොලිස් කණ්ඩායම සතු වූයේ ලකුණු 27-16ක් ලෙසිනි. 

පොලිස් කණ්ඩායම මෙවර ලීග් රග්බි තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ 12 වැනි සතිය අවසානයේ දී ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගනිමිනි. ඔවුන් මුහුණ දුන් තරග 12න් 8ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියහ. පසුගිය සතියේ දී යුධ හමුදා කණ්ඩායම සමඟින් තරග වැදුණු පොලිස් කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කලේ ලකුණු 47-31ක් ලෙසිනි. 

CR&FC කණ්ඩායම පසුගිය සතියේ දී මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 39-15ක් ලෙස පරාජය වූ අතර ඔවුන් ලකුණු සටහනේ 3 වැනි ස්ථානය ලබාගෙන සිටියහ. 

තරගයේ ආරම්භයේ දී ම තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර යොශාන් පීරිස් දඬුවම් පහරක් මඟින් පොලිස් කණ්ඩායමට ලකුණු 3ක් එක් කළේය. (පොලිස් 03 – 00 CR&FC)

තරගයේ මීළඟ මිනිත්තු කීපය තුල කණ්ඩායම් දෙකම ප්‍රතිවාදී සීමාව ආක්‍රමණය කිරීමට සමත්වුවද ලකුණු ලබාගැනීමට කණ්ඩායම් දෙකටම අවස්ථාව හිමි වූයේ නැත. 

මිනිත්තු කීපයක නිහැඬියාව බිඳ දමමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩක හශාන් ප්‍රනාන්දු සමත් වූයේ තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. පොලිස් කණ්ඩායම ලකුණු 08ක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (පොලිස් 08 – 00 CR&FC)

එයට ප්‍රතිචාර දක්වමින් CR&FC කණ්ඩායම දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර එමඟින් ඔවුන්ට ලකුණු 3ක් හිමි විය. එම දඬුවම් පහර රීසා මුබාරක් විසින් එල්ල කළේය. (පොලිස් 08 – 03 CR & FC)

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ CR&FC කණ්ඩායමට අභියෝගයක් එල්ල කරමිනි. එම උත්සාහක දිනුම කාවින්ද ජයසුන්දර විසින් වාර්තා කළේය. ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් විය. (පොලිස් 13 – 03 CR&FC)

තරගයේ 25 වැනි මිනිත්තුවේ දී CR & FC ක්‍රීඩක ජෙරෝ ධනංජය හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ අනතුරුදායක පහරක් නිසාවෙනි. ඒ සමඟින් CR&FC කණ්ඩායම ක්‍රීඩකයන් 14 දෙනෙකු දක්වා අඩු විය. 

එම අවස්ථාවවෙන් ප්‍රයෝජනය ගත් පොලිස් කණ්ඩායම CR&FC සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි දී CR&FC ක්‍රීඩක රාහුල් ද සිල්වා හටද කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ඒ ඔහු එල්ල කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි.

පොලිස් ක්‍රීඩක කාවින්ද ජයසුන්දර උත්සාහක දිනුමක් වාර්තා කළේ 13 දක්වා අඩු වූ CR&FC කණ්ඩායමේ ඉදිරිපෙළ තවත් අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් යොශාන් පීරිස් පොලිස් ලකුණු පුවරුව ලකුණු 20ක් බවට පත්කළේය. (පොලිස් 20 – 03 CR & FC) ෙ

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී රාහුල් ද සිල්වා හට ලබා දුන් කහ කාඩ්පත පිළිබඳව යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර CR&FC ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයෙන් ඉවත්ව තම විරෝධය දැක්වූහ. එම අවස්ථාවේ දී තරඟ තීරකවරයා හා විනිසුරුවන් කණ්ඩායම් කළමනාකරු සමඟින් සාකච්ඡා කර තරගය නැවත ආරම්භ කළහ. 

තරගයේ 39 වැනි මිනිත්තුවේ දී CR&FC කණ්ඩායම වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (පොලිස් 20 – 06 CR&FC) 

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 20 – 06 CR & FC ක්‍රීඩා සමාජය 

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ම රීසා මුබාරක් ක්‍රියාත්මක වූ අතර ඔහු CR&FC කණ්ඩායමට තවත් ලකුණු 03ක් එක්කළේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි. (පොලිස් 20 – 09 CR&FC)

පොලිස් කණ්ඩායම සාර්ථක ආක්‍රමණ කීපයකින් අනතුරුව තම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 49 වැනි මිනිත්තුවේ දී ය. ඒ ඉමෝනි වුනිවෝසා විසිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් යොශාන් පීරිස් පොලිස් කණ්ඩායමට අමතර ලකුණු එක්කළේය. (පොලිස් 27 – 06 CR & FC) 

CR&FC කණ්ඩායම තරගයේ තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 59 වැනි මිනිත්තුවේ දී ය. එයට හිමිකම් කීමට වජීඩ් ෆව්මි සමත් වූ අතර ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (පොලිස් 27 – 16 CR & FC)

තරගයේ 67 වැනි මිනිත්තුවේ දී CR&FC කණ්ඩායම යම් විරෝධයක් එල්ල කරමින් නැවතත් ක්‍රීඩාංගණයෙන් ඉවත් විය. එම අවස්ථාවේ දී තරග තීරක සෆාරුල්ලාවු රහ්මාන් හා CR&FC කණ්ඩායමේ කළමනාකරු හොසේන් ශීක් මහතා යම් සාකච්ඡාවක නිරත විය. එම විරෝධයට හේතුව වී තිබුණේ CR&FC නායක ඔමල්ක ගුණරත්න හට ක්‍රීඩා කිරීමට අවසර නොදීමයි. 

එම අවස්ථාවේදී CR&FC කණ්ඩායම තරගයෙන් ඉවත් වීමට තීරණය කළේය. ෙ

මෙම සිදුවීම පිළිබඳව‍ ThePapare.com අප තරග තීරකගෙන් විමසා සිටි අතර ඔහු පවසා සිටියේ CR&FC නායක ඔමල්ක ගුණරත්නගේ ඇස්වල යම් ආබාධයක් ඇතිව තිබූ බවයි. කෙසේ වෙතත් තරගයට පෙර ඔහුට ක්‍රීඩා කල හැකි බවට වෛද්‍යවරුන් විසින් පවසා තිබිණි. 

තරගය අතරතුර දී පොලිස් ක්‍රීඩා සමාජය විසින් එල්ල කළ යම් විරෝධතාවයකින් අනතුරුව ඒ පිළිබඳව නැවත පරීක්ෂා කළ තරගයේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය නමිත් සංකල්පන විසින් ඔමල්ක ගුණරත්න හට ක්‍රීඩා කිරීමට අවසරය ලබා දී නැත. 

CR&FC කණ්ඩායම තරගයෙන් ඉවත් වීම නිසා තරගාවලියේ නීති රීති වලට අනුව දෙවන අර්ධයේ දී පෙරමුණ ගෙන සිටි පොලිස් කණ්ඩායමට ලකුණු 27-16ක් ලෙස ජයග්‍රහණය ලබා දීමට තරග විනිසුරුවන් කටයුතු කළේය. 

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P) – 16 (1T, 1C, 3P) CR&FC

ඩයලොග් Viu තරගයේ වීරයා – යොශාන් පීරිස් (පොලිස් ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 

  • පොලිස්: හශාන් ප්‍රනාන්දු (1T), කාවින්ද ජයසුන්දර (2T), ඉමෝනි වුනිවෝසා (1T), යොශාන් පීරිස් (1P, 2C)
  • CR&FC: වජීඩ් ෆව්මි (1T), රීසා මුබාරක් (1C, 3P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<