නවසීලන්ත කාන්තා A කණ්ඩායමට එරෙහි T20 තරගාවලියේ නායකත්වයත් සත්‍යා ට

New Zealand A Women tour of Sri Lanka

1
New Zealand A Women tour of Sri Lanka

සංචාරක නවසීලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමේ නායකත්වය ද සත්‍යා සංදීපනී වෙත හිමි ව තිබෙනවා.

ඇය දෙරට අතර නිමා වූ එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම මෙහෙයවූ නායිකාවයි.

මෙම තරගාවලිය මේ මස 21 වැනිදා සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ අනෙක් තරග ද්විත්වය මේ මස 23 සහ 25 දෙදින එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වීමටයි යෝජනා වී තිබෙන්නේ.

නම් කරන ලද 16 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමට එක්දින තරගාවලියට එක් වූ ලිහිණි අප්සරා, ලිමංසා තිලකරත්න, රශ්මි සිල්වා  සහ තාරුකා ෂෙහානි ඉවත්කර ඇති අතර ඒ වෙනුවට විට්නි ද අල්විස්, ප්‍රමුදි මෙත්සරා, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි සහ අසේනි තලගුණේ එක් කර තිබෙනවා.

එම ක්‍රීඩිකාවන් අතරට තවතමත් 17 වැනි වියේ පසුවෙන දකුණතින් පා දඟ පන්දු යවන අසේනි තලගුණේ ද ඇතුලත්. ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වූ ආසන්නත ම තරගාවලිය වන ඕස්ට්‍රේලියා සංචාරයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවක්.

ඊට අමතර ව එම තරගාවලිය නියෝජනය කළ ප්‍රමුදි මෙත්සරා ද මෙම කණ්ඩායමට ඇතුලත්.

ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ සචිනි නිසංසලා සහ ශෂිනි ගිම්හානි ද මෙම කණ්ඩායමට ඇතුලත් කර ඇති අතර ඔවුන්ට අමතර ව පසුගියදා නිමා වූ කාන්තා ජාතික සුපර් ලීග් තරගාවලියේ දී SLC Greens කණ්ඩායම නියෝජනය කළ විට්නි ද අල්විස් ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, විට්නි ද අල්විස්, විශ්මි ගුණරත්න, දෙව්මි විහංඟා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, ප්‍රමුදි මෙත්සරා, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අසේනි තලගුණේ, රන්දි ප්‍රේමරත්න සහ සතීස්කුමාර සජින්තනී.

මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<