ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා A කණ්ඩායම් තරග අද සිට

New Zealand A Women tour of Sri Lanka

1
New Zealand A Women tour of Sri Lanka

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (12) සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය මේ මස 15 සහ 18 දෙදින එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද අතර එම කණ්ඩායමේ නායකත්වයට 26 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සත්‍යා සංදීපනී නම් කර තිබෙනවා.

ඇය මේ වසර ආරම්භයේ දී බැංකොක් හි දී පැවැති ආසියානු කුසලාන Rising Stars තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩිකාවක් වන අතර 2020 වසරේ දී ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස තරග වරම් දිනා ගනිමින් එම මංගල තරගය තම එක ම ජාත්‍යන්තර තරගය බවට පත් කර ගෙන සිටිනවා.

නම් කරන ලද මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති විශ්මි ගුණරත්න, සචිනි නිසංසලා,  තාරිකා සෙව්වන්දි, රශ්මි සිල්වා, රශ්මිකා සෙව්වන්දි, සහ දෙව්මි විහංඟා ද ඇතුලත්.

ඊට අමතර ව පසුගිය අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී සාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව සිටි සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, චමුදි ප්‍රබෝධා සහ ලිමංසා තිලකරත්න ද මෙම කණ්ඩායමේ ස්ථාන වෙන්කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය, ලිහිණි අප්සරා, ලිමංසා තිලකරත්න, දෙව්මි විහංඟා, සුමුදු නිසංසලා, රශ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, රන්දි ප්‍රේමරත්න, සතීස්කුමාරි සජංන්තිනී, රශ්මි සිල්වා,  චමුදි ප්‍රබෝධා සහ තාරුකා ෂෙහානි.

තරගාවලිය සඳහා මෙරට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ 30 හැවිරිදි වියේ පසුවෙන Kate Anderson වෙත. ඇය මේ දක්වා නවසීලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4කට එක් ව සිටිනවා.

මෙම කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් වඩාත් පළපුරුදු ක්‍රීඩිකාවන් වෙන්නේ Hannah Rowe සහ Fran Jonas.

ඔවුන් අතුරින් 29 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Hannah Rowe නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 60ක දී කඩුලු 65ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 47ක දී කඩුලු 24ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.

22 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Fran Jonas නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 26ක දී කඩුලු 20ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 39ක දී කඩුලු 30ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවක්.

ඊට අමතර ව නවසීලන්ත ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇති Jess Watkin, Bella James, JA Watkins, Bella Armstrong සහ Kayley Knight ද මෙම කණ්ඩායමට ඇතුලත්.

එමෙන් ම නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ Tash Wakelin, Prue Catton සහ Darcy Prasad ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

නවසීලන්ත කාන්තා A කණ්ඩායම

 

Kate Anderson (නායිකාව), Hannah Rowe, Jess Watkin, Bella James, JA Watkins , Bella Armstrong, Emma Black, Xara Jetly, Fran Jonas, Kayley Knight, Kate Gaging, Tash Wakelin, Prue Catton, Marama Downes, Darcy Prasad.

මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<